27 April 2024
#දේශීය

චීන රජයෙන් වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් මෙරටට

රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් අද (26) චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කල බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස්රථ තොගය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී එය නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් අංග සම්පූර්ණ මෙම ජංගම රසායනාගාර අනුරාධපුර, පොළොන්නරුව,වව්නියාව, අම්පාර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතලේ හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත ලබා දේ.

මෙම ජංගම රථයන්හි පහසුකම් මෙරට මූලික රෝහලක ඇති රසායනාගාර පහසුකම් වලට සමාන වන අතර එය විදුලි බලයෙන් ක්‍රියාත්මක කෙරේ.එහෙත් විදුලි බලය නොමැති අවස්ථාවක මෙන්ම විදුලි බලය නොමැති ප්‍රදේශයන්හි ද පරීක්ෂණ කළ හැකි අයුරින් විදුලි ජනන යන්ත්‍ර (Generator) පහසුකම් ඒ තුළ තිබේ.

දෛනිකව 500 ක පමණ පිරිසකට මෙමගින් පරීක්ෂණ කළ හැකි අතර එමගින් දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීම කළ හැකිය. එමෙන්ම කොවිඩ් වැනි හදිසි ව්‍යසන තත්ත්වයන්හි රසායනාගාර කටයුතු සඳහාද මෙම ජංගම රසායනාගාර භාවිත කළ හැකි බව වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසංග වි.රණසිංහ මහතා පවසයි.

මෙම ජංගම රසායනාගාර සඳහා පුහුණුව ලත් රියදුරෙකු සහ වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් දෙදෙනෙකු යෙදවිය හැක. මේ වන විට මෙරට හේතුව නොදත් වකුගඩු රෝගීන් 65,000 ක් පමණ පිරිසක් දිවයින පුරා දිස්ත්‍රික්ක 10කින් වාර්තා වී තිබේ.

මේ අතර පසුගිය දා චීන රජය මඟින් මෙරටට එවනු ලැබූ රුපියල් මිලියන 650 ක ඖෂධ තොගය ද අද මෙරට චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබීය. එය රුපියල් බිලියන 5 ක් වූ චීන සහනාධාර වැඩසටහන් දෙවන අදියරේ 1 වන තොගය ලෙස මෙරටට ලැබිණි. ජලභීතිකා රෝගයෙන් වැළකීම සඳහා වන එන්නත් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 17 ක් මෙම පරිත්‍යාග තොගයට ඇතුළත්ව ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් (සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම, වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසංග වී.රණසිංහ, අධ්‍යක්ෂ (තාක්ෂණික කමිටු ,කොවිඩ් 19 වසංගත රෝග කළමණාකරණ හා වෛද්‍යාධාර සම්බන්ධීකරණ) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්ම මහත්මීන්ද සහභාගී වී සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *