27 April 2024
#දේශීය

ආයෝජකයින් සුරක්ෂිත කිරීමට ජනපතිගෙන් කාර්ය සාධක බලකා 08ක්

යහපත් ආයෝජන අවස්ථා බිහිකිරීමට හා ආයෝජකයන් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකා අටක් (08) ස්ථාපිත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (01) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්ය සාධක බලකායන් බලගැන්වීම සිදු විය.

නව ව්‍යාපාර ආරම්භ කිරීම, ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීම, ව්‍යාපාර දේපළක් ලියාපදිංච් කිරීම, ණය ලබා ගැනීම, සුළු පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම, දේශ සීමා හරහා වන වෙළඳාම්, බදු ගෙවීම යනාදී ක්ෂේත්‍ර 8ක් මූලික කර ගනිමින් ව්‍යාපර කටයුතුවලට අදාළව සේවා සපයන රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කරන රෙගුලාසි හා ක්‍රියා පරිපාටි සියල්ල ආවරණය වන පරිදි මෙම බලකායන් බලාත්මක කර ඇත.

මෙම කාර්යසාධක බලකායන්ට අයත් ප්‍රධානින් සහ මෙම කාර්තව්‍යයට අදාළ වන සියලු රාජ්‍ය ආයතනය නියෝජනය කරන සාමාජිකයන් 74 දෙනෙකු මීට සහභාගී වූ අතර ඔවුන් දිරි ගන්වමින් අදහස් දැක්වු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේ, මෙය ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇති කිරීම උදෙසා රජය ගත් දිගුකාලින උත්සාහයක තවත් සන්ධිස්ථානයක් වන බවයි.

ආණ්ඩු වෙනස් වනවිට එහි කටයුතු ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවත් අප අද භුකිත් විඳිමින් සිටින්නේ එවැනි කාලෝචිත සහ අත්‍යාවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාක බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකරු චියේ කන්ඩා මෙනවිය, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා එම්.වීරකෝන්, නීති කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බිම්බා තිලකරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්. සමරතුංග, ආර්ථික ප්‍රතිසංස්කරණ ජනාධිපති උපදේශක ආචාර්ය සරත් රාජපතිරණ, ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *