27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ වර්ග කි.මී 1,302 සිට වර්ග කි.මී 18 දක්වා පහතට

ශ්‍රී ලංකාව බිම්බෝම්බ ඇති බවට සැකකරනු ලැබූ ප්‍රදේශය වර්ග කි.මී. 1,302 සිට වර්ග කි.මී. 18 දක්වා නිෂ්කාශනය කිරීමේ භාරදූර කාර්යය සපුරන ලද රටවල් කිහිපයෙන් එකක් වන බැවින් ද, වර්ෂ 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ අවදානමෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඉලක්ක කරගෙන කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පවසයි.

මෙලෙස නිෂ්කාශනය කරන ලද ප්‍රදේශවලින් විශාල කොටසක් මානව ජනාවාස, කෘෂිකාර්මික, කර්මාන්ත සහ වෙනත් සමාජ ආර්ථික ක්‍රියාකාරකම් සදහා යොදා ගනිමින් අදාළ ඉඩම් ඉහළ ප්‍රමුඛතාවයකින් යුත් එලදායි ඉඩම් බවට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ නිෂ්කාශන වැඩසටහන ගෝලීය වශයෙන් සාර්ථකභාවයට පත්කර ගැනීම සදහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට අමාත්‍යාංශයට හැකි වී තිබේ.

මෙම ක්‍රියාවලියේදී සිවිල් වැසියන්ගේ මරණ හා තුවාල සැලකිය යුතු ලෙස අඩු කළ බැවින් බිම්බෝම්බ අවදානම් අධ්‍යාපනය (MRE) සාර්ථක වැඩසටහනක් ලෙස සලකනු ලැබේ. මෙම මැදිහත්වීම සඳහා යුනිසෙෆ් (UNICEF) සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන විසින් ලෝහ සහ දර එකතු කරන්නන් ද ඇතුළුව ළමයින්, කාන්තාවන් සහ පිරිමින් වැනි ඉහළ අවදානමක් සහිත ඉලක්කගත කණ්ඩායම් දැනුවත් කිරීම සඳහා විශේෂයෙන් සහාය ලබා දුන් බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *