27 April 2024
#සංවර්ධන

බෝ නොවන රෝග ගැන ජනතාව දැනුවත් කලොත් බිලියන 120 මුදලක් ඉතිරි වෙනවා – ඇමැතිනි පවිත්‍රා

වෛද්‍යවරු වස විසෙන් තොර ආහාර භාවිතය සහ බෝනොවන රෝග පිළිබද ජනතාව දැනුවත් කළොත් බිලියන 120 ක් ඖෂධ සදහා වියදම් කරන රටක් බවට අප රට පත් නොවන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (08) ප්‍රාථමික සෞඛ්‍ය ව්‍යාපෘති සදහා සහතික පත් ප්‍රධානොත්සවයට එක්වෙමින්.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 63 ක ජනතාවාදී නිර්මාණශිලී කේන්ද්‍රිය වැඩසටහන් ක්‍රියාත්මක විය. ඒ අතරින් හොදම ව්‍යාපෘති 20 ක් තෝරා ගෙන එම ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ සමුළුවක් පැවැත් වූ අතර, ඉන් තෝරා ගත් හොදම ව්‍යාපෘති සදහා සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරිණි.

පහසුවෙන් ප්‍රතිකාර සදහා යොමුවිමටත්, ලැබෙන සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත්, නිර්මාණශීලි ප්‍රෙව්ශයක් සදහාත් මෙම වැඩසටහන උපකාරි වේ. මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමට අදාල ඉදිරි අවුරුදු 05 සදහා ජාතික සැළසුමක් සකස් කිරීමේ කටයුතු ද සිදු විය.

එහිදී උත්සව සභාව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ අදහස් පල කලේය “දිවයිනේ පිහිටි කුඩා රෝහල්වලට බොහෝ විට සේවය සදහා යොමු කෙරෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය ලැබ පළමු හෝ දෙවන පත්වීම ලබන වෛද්‍යවරු. එතුමන්ලාගේ මූලිකත්වයෙන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් දියුණු කිරීමට ගන්නා උත්සාහය අපි ඇගයීමට ලක් කළ යුතුයි. ජනතා නියෝජිතයෙක් විදිහට වගකීමෙන් යුතුව සදහන් කරන්න සිදු වෙනවා මේ ව්‍යාපෘතියේ මුදල රුපියල් මිලියන 36000 ක්. බිලියන 36 ක්. මේ අපි ණයට ගත් මුදල්. මේ රටේ බදුගෙවන ජනතාවගෙන් ගන්න මුදල් වලින් තමයි මේ ණය ගෙවා ගන්න සිදු වෙන්නේ. සැබෑ ඉළක්කයටම මේ මුදල් වියදම් කළ යුතුයි. අපි සැවොම එක්වෙලා නිරෝගී ජනතාවක් බිහි කිරීම සදහා රජය ගෙනයන වැඩ පිළිවෙල සෞඛ්‍ය අංශ සමග එක්ව ඉදිරියට ගෙනයමු. සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් වෙහෙසෙන සියලු දෙනාම ඇගයීම ඉතා හොද දෙයක්. මේ ඇගයීම ඉදිරියටම ගෙනයනවා නම් එය ද ඉතාම වැදගත් වෙනවා. මේ ඇගයීම සියලු දෙනාටම ලබා දිය යුතුයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ඡේ.එම.ඩබ්ලිව් ජයසුන්දර බණ්ඩාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *