හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගනිමින් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දින පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා කාලසීමාව තුළ වහළ මත සවිකර ඇති සූර්ය පැනල ස්වේච්ඡාවෙන් ක්‍රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකථනය කළ කාලසීමාවට වඩා ශීඝ්‍රයෙන් පහළ යාම සහ සූර්ය පැනල මගින් ජනනය වන විදුලිය ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම නිසා ඊයේ (30) ජාතික පද්ධතියේ අසමතුලිතතාවක් නිර්මාණය විය. මෙම තත්ත්වය හේතුවෙන් ඊයේ (30) දිනයේදී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳවැටීම් වාර්තා වූ අතර, පද්ධතියේ ස්ථායීතාවය රැක ගැනීම සඳහා ඊයේ (30) දිනද පස්වරු 3 දක්වා සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි. කෙසේ වෙතත්, ඊයේ (30) පස්වරු 2.15 පමණ වන විට විදුලිය විසන්ධි වූ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණි.
















