27 July 2024
#සංවර්ධන

1952 මෙරට ගෙන්න වු තට්ටු දෙකේ බස්රථය පුනරුත්ථාපනය කර මගී ප්‍රවාහනයට එක් කරයි

1952 දී මෙරටට ගන්න වූ බ්‍රිටිෂ් ලේලන්ඩ් වර්ගයේ තට්ටු දෙකේ බස්රථයක් පුනරුත්ථාපනය කර මගී ප්‍ර‍වාහනයට එක් කිරිම අද පැවැති ගමට අගයක් මගී ජන මිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනයේදී ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු විය.

එහිදී ජනමිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනය ආරම්භ කරමින් අමල් පියතිලක නිර්මාණය කළ නව නිපැයුම් වීල් මාස්ටර් නව රථය හෙවත් වැඩිදියුණු කළ අත් ට්‍රැක්ටරයද ජනගත කෙරිණ. අද එම සේවාව සහ ප්‍ර‍දර්ශනය පැවැත්වුණේ නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේදී වේ.

ගමට අගයක් මගී ජන මිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනය ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ඉදිරිපත් කිරීමකි. ප්‍ර‍වාහන අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා දුම්රිය සේවය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, මෝටර්රථ ප්‍ර‍වාහන දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන්සේවා අධිකාරිය, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම, ජාතික ප්‍ර‍වාහන වෛද්‍ය ආයතනය, මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ලක්දිව ඉංජිනේරු සමාගම එයට එක්ව සිටියේය.

එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ අදහස් පල කළේය “ප්‍රවාහන අමාත්‍යාංශය කියන්නේ මහජනතාවට සමීපතම අමාත්‍යාංශය. නමුත් අපි අපේ සේවාව තවත් ඉදිරියට ගෙනි යන්න ඕන. විශේෂයෙන්ම තවමත් පාසැල් වෑන්රථ හා ත්‍රීවිල් රථ නියාමනය වෙන්නේ නැහැ. මගියෙක් දුම්රියපලට ගියාම අවශ්‍ය පහසුකම් නැහැ. තවමත් අපි යන්නේ ලොරි චැසිවල ගැසූ බස්වල. මේ නිසා ප්‍ර‍වාහනයේ විශාල පෙරළියක් අපි කළ යුතු වනවා. එයට අවශ්‍ය පසුබිම දැන් අපි සකසමින් යනබවත් මේ අවස්ථාවේදී මම ප්‍ර‍කාශ කරනවා….”යැයි අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *