ඉන්දුනීසියාවේ නැගෙනහිර හල්මහේරා දූපතේ පිහිටි දුකෝනෝ (Mount Dukono) ගිනිකන්ද අද (08) උදෑසන දරුණු ලෙස පුපුරා යාමත් සමඟ එහි සංචාරය කරමින් සිටි පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදහන් වී තිබේ. අතුරුදහන් වූවන් අතර සිංගප්පූරු ජාතිකයින් 09 දෙනෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයින් 11 දෙනෙකු සිටින බව එරට සහන සේවා අංශ තහවුරු කරයි.
අද උදෑසන 7.41 ට පමණ සිදු වූ මෙම පිපිරීමත් සමඟ අහසට කිලෝමීටර් 10ක් පමණ උසට දුම් සහ අළු වලාකුළු විහිදී ගොස් ඇති අතර, ප්‍රදේශයෙන් ලැබෙන වාර්තාවලට අනුව කඳු නගින්නන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක කෙරේ. මියගිය අය අතර සිංගප්පූරු ජාතිකයින් දෙදෙනෙකු සිටින බවට දේශීය මාධ්‍ය වාර්තා කළ ද, ඒ පිළිබඳ මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නොමැත. ගිනිකන්ද ආශ්‍රිතව පවතින දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් පසුගිය අප්‍රේල් 17 වනදා සිට එම කලාපය සංචාරකයින්ට තහනම් කර තිබියදී මොවුන් එහි ගොස් ඇති බව හෙළි වී තිබේ. දැනට අතුරුදහන් වූවන් සෙවීම සඳහා විශේෂ පොලිස් සහ සහන කණ්ඩායම් යොදවා ඇති අතර, අළු වලාකුළු හේතුවෙන් ගුවන් ගමන් සහ මහජන සෞඛ්‍යයට ද බලපෑම් එල්ල විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.














