2022 වසරේ ඇති වූ අරගලකාරී තත්ත්වය හේතුවෙන් හිටපු මැති ඇමතිවරුන්ගේ දේපළවලට සිදුවූ හානි සඳහා වන්දි ගෙවීමේදී, නීති විරෝධී ලෙස රජයේ මුදල් අවභාවිත කරමින් වන්දි ලබා දීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළිත් නොතීසි නිකුත් කර තිබේ. මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ අදාළ වන්දි ගෙවීම් නිසි නීතිමය ක්‍රියා පටිපාටියකින් බැහැරව සහ ඇස්තමේන්තුගත ප්‍රමාණයන් ඉක්මවා සිදු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මීට පෙරද නොතීසි නිකුත් කර තිබූ අතර, අද දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ කරුණු පැහැදිලි කිරීම සඳහා යළිත් වරක් හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යොමු කරන ලෙසයි. මීට අමතරව එම වන්දි ගෙවීම් අනුමත කළ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට ද මෙම නඩුවට අදාළව කරුණු දැක්වීමට සිදුවනු ඇත.















