27 April 2024
#දේශීය

ප්‍රතිසංස්කරණය කළ බස් රථ 200ක් ධාවනයට

අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර, ධාවනයට එක් කිරීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවිණ.

වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීම ද අත්හිටවනු ලැබීය. එහිදී ඇති වූ බස්රථ හිඟයට හා විනිමය ඉතිරි කිරීමට පිළියමක් ලෙස අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත්වැඩියාවට පියවර ගැනිණ. එහි පළමු අදියර යටතේ බස් රථ 273ක් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම 2020 දෙසැම්බර් මාසයේ දී සිදු විය.

දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200ක් දෙවන අදියර යටතේ අලුත්වැඩියා කෙරුණු අතර ඊට වැය කළ මුදල රුපියල් මිලියන 136කි.

ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ පූර්ණ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

බස් රථවල ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් සමග කථා බහ කරමින් ඔවුන් දිරිමත් කළේය.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *