එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විදේශ කෘෂිකාර්මික සේවය විසින් 2026 මූල්‍ය වර්ෂය සඳහා සිය ‘ආහාර සඳහා ප්‍රගතිය’ (Food for Progress) වැඩසටහනේ ප්‍රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාව නිල වශයෙන් නම් කර තිබේ. මෙම වැඩසටහන හරහා කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීමට සහ වෙළෙඳාම පුළුල් කිරීමට අදාළව ලොව පුරා ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 226ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 72.24ක්) වෙන් කිරීමට අපේක්ෂිතය.
සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම සහ ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන වසර පහක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරෙන අතර, එක් ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 28ත් 35ත් අතර මුදලක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 8.95ත් 11.18ත් අතර) වෙන් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, බොලිවියාව, ඉක්වදෝරය, මොරොක්කෝව, පිලිපීනය සහ තායිලන්තය මෙම වැඩසටහනේ ප්‍රමුඛ රටවල් ලෙස නම් කර ඇත.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට හිමිවන අවස්ථාව, මීට පෙර 2024 වසරේදීද ලැබුණු ප්‍රමුඛත්වයේ දිගුවකි. ඇමරිකානු කෘෂිකාර්මික අංශය මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතර, ඇමරිකානු ඩොලර් මිලියන 27.5ක වටිනාකමකින් යුත් ‘වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය’ (Market-Oriented Dairy Project) විශේෂ වේ. එමගින් දේශීය කිරි ගොවීන් 15,000කට වැඩි පිරිසකගේ ඵලදායිතාව දෙගුණ කිරීමට සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමට හැකි විය. එසේම, 2018 වසරේ සිට ක්‍රියාත්මක වන මැක්ගවර්න්-ඩෝල් (McGovern-Dole) වැඩසටහන හරහා පාසල් සිසුන් දහස් ගණනකට දිවා ආහාරය ලබා දීම ද ඇමරිකානු ආධාර මත සිදුවන වැදගත් කාර්යභාරයකි.












