ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ සේවකයින් සඳහා වන්දි මුදල් ගෙවීමේ නිශ්චිත සැලසුම රජය විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබේ. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ මෙම වන්දි මුදල් අදියර දෙකක් යටතේ ගෙවීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
එහි පළමු පියවර ලෙස මුළු වන්දි මුදලෙන් 50%ක් ලබා දීම සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ වන විටත් ඉදිරිපත් කර ඇති අතර, එළැඹෙන සතියේ ඊට අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙම මැයි මාසයේ 15 වනදා වන විට පළමු අදියරේ වන්දි මුදල් සේවකයින් වෙත මුදා හැරීමට රජය සැලසුම් කර තිබේ. ඉතිරි 50%ක මුදල ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.












