2027 වර්ෂයේ සිට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නව විධිවිධාන සහ උපදෙස් මාලාවක් සහිත චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපනය සඳහා සමාන සහ සාධාරණ අවස්ථා තහවුරු කිරීම, ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය ඉහළ නැංවීම සහ අක්‍රමිකතා අවම කිරීම මෙම නව ක්‍රියාමාර්ගයේ මූලික අරමුණයි. මෙම නව චක්‍රලේඛය සකස් කිරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් සහ යෝජනා පුළුල් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව මෙම පියවර ගෙන ඇති අතර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය ලබා දී ඇත. 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙම නව උපදෙස් මාලාව මගින් පාසල් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















