27 April 2024
#දේශීය

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත පිළිබඳ විවාදය ලබන 6 සහ 7 වනදා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය ලබන 6 සහ 7 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

අද (29) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තුව ලබන 3 වැනි සදුදා සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිතය. 3 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහායි.

ඔක්තෝබර් 7 වැනි සිකුරාදා හැර 4 වැනිදා සිට 6 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

මේ අතර ලබන 4 වැනි අගහරුවාදා සිට ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට වෙන්වන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමටත්, එම කාලය පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට ලබා දීමටත් මෙහිදී තීරණය වී ඇත. ඒ අනුව ප.ව 4.30 ට අවසන්වීමට නියමිත ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට අදාළ කාලය ප.ව 5.00 දක්වා දීර්ඝ වනු ඇත. ප.ව 5.30 දක්වා ඉතිරි මිනිත්තු 30 ක කාලය, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සහ සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා දිනක් හැර දිනක් මේ අනුව වෙන් කිරීමට ද මෙහිදී එකගත්වය හිමිවී ඇත.

ලබන 6 සහ 7 දෙදින 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය පැවැත්වීමට නියමිත අතර ඒ අනුව 6 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ද විවාදය පැවැත්වේ. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවකට අනුව විවාදය පැවැත්වීමට නියමිතය.

එසේම ලබන 7 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.
—————————————————-

Leave a comment

Your email address will not be published. Required fields are marked *