22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජනා කර ඇත. අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන්ද වයස අවුරුදු 67 සම්පූර්ණ වීම හෝ ධුරයට පත්ව වසර 6ක් සම්පූර්ණ වීම යන කරුණු දෙකෙන් මුලින්ම එළඹෙන දිනයේදී විශ්‍රාම යා යුතු වන පරිදි නව නීති හඳුන්වා දී තිබේ. මීට අමතරව, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මඟින් මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමටත්, මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමටත් යෝජිතය.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළේ, ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන තරම් බියජනක තත්ත්වයක් මෙම සංශෝධනය තුළ නොමැති බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඇතැම් සංවිධාන තොරතුරු විකෘති කරමින් සහ අසම්පූර්ණ තොරතුරු ලබා දෙමින් දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් නොමඟ යැවීමට උත්සාහ කරන බවයි. කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක කාලයක් තුළ ඕනෑම අයෙකුට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නීතිමය අවස්ථාව පවතී.
















