2334 වැනි ජාතික පොසොන් උත්සවය මෙවරත් ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ. ‘අනු බුදු ගුණ බෙලෙන් යුද ගිනි නිවේවා’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර පොසොන් සතිය ජුනි මස 26 වැනිදා සිට ජූලි මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පොසොන් පින්කම් කමිටුවේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (02) මිහින්තලා විහාරස්ථාන මැද මළුවේදී පැවැත්විණි.
උත්සව මාලාවට අනුව මිහින්තලා විහාරස්ථානයේ පැවැත්වෙන සති පිරිත ජුනි මස 20 දා පැන් පෙරහර පැවැත්වීමෙන් ආරම්භ වන අතර ජුනි 26 දා රාත්‍රි දොරකඩ අස්න පවත්වා ජුනි 27 දා දහවල් දානයෙන් අවසන් වීමට නියමිතය. ඓතිහාසික මිහිඳු පෙරහර ජුනි මස 28 වැනිදා වීථි සංචාරය කිරීමට සැලසුම් කර ඇත.
මිහිඳු පෙරහර පැවැත්වීම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ පනහක මුදලක් එවා ඇති නමුත් එය පෙරහරට ප්‍රමාණවත් නොවන බවත්, පුදබිම පුරා ශබ්ද විකාශන යන්ත්‍ර 300ක් සවිකිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ හැටක් පමණ වැයවන බවත් විහාරාධිපති වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ. එම නිසා සති පිරිත සහ ආලෝක පූජාව සඳහා දෙස් විදෙස් බැතිමතුන්ගෙන් ආධාර බලාපොරොත්තු වන බව උන්වහන්සේ සඳහන් කළහ.
බැතිමතුන් සඳහා රථ ගාල්, තාවකාලික වැසිකිළි, ජල සහ ප්‍රවාහන පහසුකම්, ප්‍රථමාධාර, ජීවිතාරක්ෂක හා ආරක්ෂක කටයුතු සම්පාදනය කිරීම මෙන්ම පොසොන් සතිය තුළ සුරාසැල් හා මස්කඩ වසා තැබීම පිළිබඳව ද මෙහිදී අදාළ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. මේ සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයේ නියෝජිතයින් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර සහ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය මෙන්ම සිවිල් සංවිධාන නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
















