27 April 2024
#දේශීය

සඟවා තිබූ සීනි රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගිකයන්ට

ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් අද (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ඉදිරියේදී මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අළෙවි කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878කි.

2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000ක් පමණ වේ.

එහෙත් වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව අනාවරණය වී තිබේ. කෘතිම සීනි හිඟයක් රට තුළ ඇති කර, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහළ මිලකට සීනි අළෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකි විය.

සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදු කර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *