27 April 2024
#දේශීය

පුනර්ජනනීය බලශක්ති දායකත්වය සඳහා ටෙන්ඩර් කැදවීම් කඩිනමින් – රාජ්‍ය ඇමැති දුමින්ද

පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා වර්ධනය කිරීමේ ප්‍රගතිශීලී පියවරක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේද දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර ඉදිරියේදී ඒ වෙනුවෙන් යෝජනා කැදවීමට කටයුතු කරන බව සූර්යබල, සුලං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

දිනෙන් දින ඉහල යන බලශක්ති අර්බුදයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීමේ තිරසාර විසදුම් ලබාගැනීමේ අරමුණ පෙරදැරිව ජනාධිපතිවරයාගේ “සෞභාගයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කෙරෙන, වසර 2030 වනවිට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන්70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් රට බලගැන්වීමේ ක්‍රියාන්විතය සාර්ථක කිරීමටනම්, සූර්ය බලශක්තියෙන් 4800MW සහ සුලං බලශක්තියෙන් 3500MW ක ධාරිතාවයෙන් ජාතික පද්ධතිය බලගැන්විය යුතුය.

ඒ අනුව මෙම ධාරිතාව 2022-2030 කාල පරාසය තුල ජාතික පද්ධතියට එක් කිරීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම කල යුතුව ඇති බවත් පවසන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් ආයෝජනය කිරීම සදහා කැමැත්තක් දක්වන පාර්ශවයන්ගේ යෝජනා කැදවීමට 2021/08/30 දින පැවැති කැබිනට් මන්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති බව වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ අනුව 50MW වඩා වැඩි පුනර්ජනනීය බලාගාර එනම් මහා පරිමාන සූර්ය, සුළං, ජලාශ මත ඉදි කරනු ලබන පාවෙන සූර්ය බලාගාර, නොගැඹුරු මුහුදු තීරයේ ඉදි කරනු ලබන සුළං බලාගාර වැනි පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා යෝජනා කැදවනු ලැබේ. පුනර්ජනනීය බලශක්තියෙන් රට බලගැන්වීමේ ව්‍යාපෘති හරහා දේශීය රැකියා අවස්ථා පුලුල් කිරීම, ආනයනික පොසිල ඉන්ධන මත යැපීමේදී සිදුවන ජාතික ධන හානිය එනම් දල ජාතික නිශ්පාදනයෙන් ඉන්ධන ආනයනය සදහා වැය කරන 25% ට වැඩි ජාතික ධනය ඉතිරි කිරීමේ උතුම් කර්තව්‍යය ඇතුලු සුවිශාල ජාතික මෙහෙයක් මෙමගින් මව් පොළවට ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *