එංගලන්තයේ ග්ලූස්ටර් (Gloucester) නගරයට ආසන්නයේ සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී (Cotswold Archaeology) වසර 3,500කට වඩා පැරණි, ලෝකඩ යුගයට (මධ්‍ය ලෝකඩ යුගය – ක්‍රි.පූ. 1500-1100) අයත් අතිශය දුර්ලභ ලීයෙන් තැනූ ලිඳක් (Wooden Well / Watering Hole) සොයාගනු ලැබ ඇත.
ජලයෙන් යටවී පැවැතීම නිසා ඔක්සිජන් රහිත පරිසරයක ඉතා සුරක්ෂිතව ආරක්ෂා වී තිබූ මෙම ලී ව්‍යුහයේ, ජලය වෙත බැසීමට යොදාගත් ලී ඉණිමඟක් (Log ladder), ලෑලිවලින් තැනූ ඉහළ සහ පහළ වේදිකා (Platforms) මෙන්ම ජලය රඳවා ගැනීමට යොදාගත් ලී පුවරු පැහැදිලිවම දැකගත හැකි බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. එකල පැවැති කාලගුණික විපර්යාස සහ උණුසුම් කාලගුණ තත්ත්වයන් හමුවේ භූගත ජල මට්ටම පහළ බැසීම නිසා, පිරිසිදු ජලය ලබාගැනීමට අතීත මානවයන් යොදාගත් තාක්ෂණික උපක්‍රම සහ අතිශය දියුණු වඩුවැඩ (Carpentry skills) පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන ප්‍රබලම සාක්ෂියක් ලෙස මෙය සැලකේ.
















