36 වැනි ජාතික සමථ දින සැමරුම් උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්‌ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) පෙරවරු 10.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. අධිකරණයට යොමුවන සුළු ආරවුල් විකල්ප ක්‍රමවේදයක් ඔස්සේ විසඳීමේ අරමුණින් 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත යටතේ 1990 ජූලි 18 වැනිදා සමථ මණ්ඩල ස්ථාපිත කර තිබේ.
2026 අයවැයෙන් සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහා රුපියල් මිලියන 800ක් වෙන්කර ඇති අතර, ඉඩම් ආරවුල් පිළිබඳ සමථ මණ්ඩල දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇත. දිවයින පුරා ප්‍රජා සමථ මණ්ඩල 332ක් ක්‍රියාත්මක වන අතර, සමථකරුවන් 9,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සේවය කරති. වසරකට ආරවුල් ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් සමථ මණ්ඩල වෙත යොමුවන බවද සඳහන් වේ.
අධිකරණයට යොමුවන මූල්‍ය ආරවුල් සංඛ්‍යාව අඩු කිරීම සඳහා විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමද ආරම්භ කර ඇති අතර, කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල දිස්ත්‍රික්ක හයක මේ වනවිට එම මණ්ඩල ස්ථාපිත කර තිබේ.














