ඉන්ධන, එන්ජින් ඔයිල් සහ අමතර කොටස්වල දැඩි හිඟයක් පැවතීම හේතුවෙන් නාසාර් රෝහලේ විදුලි සැපයුම අඩාල වී ඇති අතර, රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ.
ඊශ්‍රායලයේ අඛණ්ඩ තහංචි සහ සීමා කිරීම් මෙන්ම 2025 සටන් විරාමයෙන් පසුවත් පවතින දැඩි පාලන තන්ත්‍රය හේතුවෙන් ගාසා තීරයේ රෝහල්වලට විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අභියෝගයක් වී ඇත. නාසාර් රෝහලේ අභ්‍යන්තර වෛද්‍ය විශේෂඥ අහමඩ් අල්-නබ්‍රිස් මහතා පවසන පරිදි, රෝහලේ ජනක යන්ත්‍ර හතරෙන් එකක් දැනටමත් ක්‍රියා විරහිත වී ඇති අතර, ඉතිරි ඒවා ද දැඩි පීඩනයකට ලක්ව ඇත. සාමාන්‍යයෙන් පැය 250කට වරක් මාරු කළ යුතු එන්ජින් ඔයිල්, හිඟය නිසා පැය 1,000ක් දක්වා දීර්ඝ කිරීමට කාර්මිකයන්ට සිදුවී තිබේ.
මෙම තත්ත්වය රෝහල්වලට පමණක් සීමා නොවී, අසල්වැසි ප්‍රදේශවල පුද්ගලික ජනක යන්ත්‍ර මඟින් නිවාසවලට විදුලිය ලබා දෙන ජනතාවට ද දැඩි ලෙස බලපා ඇත. ඔයිල් සහ ඩීසල් මිල ඉහළ යාම නිසා නිවාසවලට ලබාදෙන විදුලි ගාස්තු ආසන්න වශයෙන් 20 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වැසියෝ පවසති. කෙසේ වෙතත්, හමාස් සංවිධානය වෙත උපකරණ සහ ඉන්ධන යාම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායලයේ COGAT ආයතනය ප්‍රකාශ කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














