කොටි ත්‍රස්තවාදීන් විසින් 1987 ජුනි 02 වැනි දින අරන්තලාවේදී අපවත් කරන ලද හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 31 නමකගේ 39 වැනි වසරක අනුස්මරණ ගුණ සමරු උළෙල සහ මහා පිංකම අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් අද (02) පවත්වනු ලැබුවා. උතුරු නැගෙනහිර සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියන්ගේ සංවිධායකත්වයෙන් මෙම පිංකම් මාලාව සිදු කෙරුණා.
ඊයේ (01) රාත්‍රියේ පැවැති සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයේදී සධාතුක කරඬුව ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් දිමුත් බණ්ඩාර මහතා විසින් ද, පිරුවානා පොත් වහන්සේ අම්පාර කොට්ඨාශ 2 සහකාර පොලිස් අධිකාරි බණ්ඩාර දිසානායක මහතා විසින් ද මණ්ඩපය වෙත වැඩම කරනු ලැබුවා. ගුණ සමරුවේ දෙවන දිනය අද (02) උදෑසන හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන්ගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමෙන් ආරම්භ වූ අතර, ඉන්පසු ඉදිවෙමින් පවතින අරන්තලාව මහා සෑ රදුන් අභියසදී සෙත් පිරිත් සජ්ඣායනා කිරීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමි ඇතුළු ප්‍රධාන නාහිමිවරුන් වහන්සේලා වැඩම කර සිටියා. 1987 වසරේ සිදු වූ අරන්තලාව භික්ෂු ඝාතන ඛේදවාචකයට මුහුණ දී දිවි බේරාගත් අඳාඋල්පත බුද්ධසාර හිමි සහ හඟුරන්කෙත පුඤ්ඤසාර හිමිවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක්. උත්සව සභාවෙන් අනතුරුව, මහා සංඝරත්නය 500 නමක් විෂයෙහි සඟසතු මහා දානමය පිංකමක් පිරිනැමුණා. මෙම පුණ්‍යකර්මයට සමගාමීව අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක පිරිවෙන් 40ක් සඳහා කාර්යාලීය උපකරණ බෙදාදීම ද සිදු කෙරුණා.
















