13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණියේ රන් පදක්කම් 40ක් සමඟ සමස්ත පදක්කම් 251 ක් රැගෙනය. ඒ අනුව ශ්‍රී ලංකාව එම ක්‍රීඩා උළෙලේදී තුන්වන ස්ථානයට පත්වුණා.
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති 13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය 10 වනදා නිමාවට පත්විය. මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රි ලංකාවට වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් හිමිකර ගැනීමට සමත් වුයේ ශ්‍රි ලංකා මලල ක්‍රීඩා ඉසව්වෙනි. ඒ අනුව ශ්‍රී ලංකාව රන් පදක්කම් 15ක් හිමිකර ගත්තේ වසර 28කට පසු මලල ක්‍රීඩා ඉසව් වලින් ඉන්දියාව අභිබවා යමිනි.
එසේම එහිදී ශ්‍රී ලංකා පිරිමි මිටර 100 සහය දිවීමේ කණ්ඩායම වසර 15ක් පැරණි දකුණු ආසියානු වාර්තාව බිඳ හෙලීමට සමත් විය. ඊට අමතරව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පළමු වරට කාන්තා මැරතන් ඉසව්වෙන් රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට හිරුණි විජේරත්න සමත්වීමද විශේෂත්වයකි.
මේ අතර ශ්‍රි ලංකාව වෙනුවෙන් දෙවනුවට වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් හිමිකර දුන්නේ පිහිනුම් කණ්ඩායමයි. එහිදී ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම රන් පදක්කම් 7ක් හිමිකරගත් අතර එම රන් පදක්කම් 7ම හිමිකර ගැනීමට පිහිනුම් ශූර මැතිව් අබේසිංහ දායකත්වය ලබා දීම විශේෂත්වයක්.
මේ අතර ටයිකොන්ඩෝ ඉසව් වලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවත් රන් පදක්කම් 4ක් හිමිකර ගත්තේය.
ඊට අමතරව කබඩි, බීච් වොලිබොල්, බැඩ්මින්ටන්, මල්ලවපොර, බර ඉසිලීම, වූෂු, ගොල්ෆ් සහ ජූඩෝ යන ඉසව් වලදීද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දැක්වීමට සමත් විය.
ඒ අනුව රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 82ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 250ක් හිමිකරගත් ශ්‍රි ලංකාවට හිමිවූයේ මෙවර ක්‍රීඩා උළෙලේ තුන්වන ස්ථානයයි.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රි ලංකාව හිමිකර ගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්විය.
මෙම ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකා නියෝජනය කරනු ලැබු ක්‍රිඩකයින් 07 දෙනෙකුට ඩෙංගු රෝගට වැළදුණු අතර එහිදී ඔවුන් වෙනුවෙන් සියළු සෞඛ්‍ය පහසුකම් සලස්වා තිබේ. එසේම ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කරන කටයුතු සියල්ල සුදානම් කිරීමට ක්‍රිඩා අමාත්‍යංශය කටයුතු කර තිබේ.
දිලිනි සමන්මලි