27 April 2024
#දේශීය

ජපන් ආධාර යටතේ මෙරට රෝහල් නවයකට මිලියන 400 ක උපකරණ

මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම ඉලක්ක කරමින් (ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය) JICA ආධාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් 09 ක් සඳහා රුපියල් මිලියන 400 ක පමණ වටිනා රෝහල් උපකරණ ලබාදීම ඊයේ (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණී.

ජපන් තානාපති Mizukoshi Hideaki (මිසුකොෂි හිදෙකි) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත මෙම උපකරණ තොගය නිල වශයෙන් එහිදී ලබාදීම සිදු කෙරිණි.

මේ යටතේ තෙල්දෙණිය,වරකාපොල, වැලිකන්ද, පිඹුර, කරවනැල්ල, අවිස්සාවේල්ල, නාවලපිටිය, හිඟුරක්ගොඩ යන මූලික රෝහල් වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ පී.සී.ආර්. රසායනාගාරය සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාගය සිදු කෙරිණි.

පී.සී.ආර්. කට්ටල,හදිසි ප්‍රතිකාර ඇඳන්,හදිසි ප්‍රතිකාර ඒකක උපකරණ ,වෙන්ටිලේටර්ස් වැනි උපකරණ තොගයක් මෙහිදී ලබා දුන්නේය.මෙරට සෞඛ්‍ය පද්ධතියට ජපන් රජය මෙන්ම ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය දිගුකලක සිට සහයෝගය ලබාදෙන අතර ඒ යටතේ මෙරට රෝහල් පද්ධතිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නගා තිබේ.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, අතිරේක ලේකම් වෛද්‍ය සුනිල්ද අල්විස් , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ JICA ව්‍යාපෘතියේ මෙරට ජ්‍යෙෂ්ඨ නියෝජිත ටකෂිමා කියොෆුමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *