27 April 2024
#දේශීය

පසුගිය රජය සමයේ දෙමළ ජනතාවට වැඩක් කළේ නෑ – රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

පසුගිය රජය සමයේ දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශවලට කිසිම සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවූ බව රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගංවතුර බලපෑම් නිසා දැඩි ලෙස අබලන් තත්වයේ තිබුණ කොක්කඩිචෝල සහ අම්බිලාන්තුරෙයි ප්‍රදේශය යා කරමින් කැඩී ගිය පාලම නැවත ඉදිකර විවෘත කිරීමේ උත්සවයට ඊයේ (19) සහභාගි වෙමිනි.

රුපියල් මිලියන 15ක වියදමින් මෙම පාලම ඉදිකරනු ලැබූවේ මාර්ග සංවර්ධන අධිකාරියේ විසිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසූවේ පසුගිය රජය පැවති කාලසීමාවේදී උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන් දෙමළ ජනතාව ජීවත් වන දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනයක් සිදුනොවුනු බවයි.

එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව නිවැරදි ලෙස අවශ්‍යතාවන් හදුනාගෙන මුදල් බෙදා හැරීම නිසා අපගේ ගම්මාන වලටද ප්‍රධාන මාර්ග, පාලම්, ජල සම්පාදන ව්‍යාපෘති යන ක්ෂේත්‍රයන් මෙන්ම සංවර්ධනය වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ. මේ වන විටත් ශ්‍රී ලංකාව පුරා ඉදිරි දැක්මක් යටතේ නව වැඩපිළිවෙලවල් සකස් කර ගම්මාන සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ආශ්‍රිත නිෂ්පාදන වැඩි වශයෙන් දක්නට ලැබේ විශේෂයෙන් පඩුවාන්කරයි ප්‍රදේශය ආශ්‍රිත ගම්මානවල කෘෂිකර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය ඉතා සාර්ථකව කරයි. මෙම නිෂ්පාදන ක්‍ෂේත්‍රය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය කිරීම ඉතා වැදගත් එකක් ලෙස දැකිය හැකිය. මෙසේ යට්තල පහසුකම් සංවර්ධනය කරන විට ග්‍රාමීය ආර්ථිකයන්ද ඉතා ශක්තිමත් ලෙස සංවර්ධනය වෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්ද්‍රමෝහන් මහතාද ,මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ද ඇතුළු කොක්කඩිචෝල සහ අම්බිලාන්තුරෙයි ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *