27 April 2024
#සංවර්ධන

කෙලින්කන්ද ප්‍රදේශයට 4G තාක්ෂණයෙන් බලගැන්වේ – විදුලි සංදේශ නියාමන කොමිසමේ තවත් ව්‍යාපෘතියක්

කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වල පළකර තිබිමත් සමඟ විදුලි සංදේශ නියාමන කොමිසම සති දෙකක් තුළ 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් කෙලින්කන්ද ප්‍රදේශයට ලබාදීමට පියවර ගත්තේය.

නව සන්නිවේදන පහසුකම් සමග දූ දරුවන්ගේ අධ්‍යාපනය සේම ප්‍රදේශවාසීන්ගේ ආර්ථික, සමාජ ජීවිතය ද වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊයේ වැඩසටහනට සමගාමීව කෙලින්කන්ද ප්‍රාථමික විද්‍යාලයට පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීම ද සිදු වූ අතර විද්‍යාලයීය පරිගණක විද්‍යාගාරයක් සඳහා මුල්ගල තැබීම ද විදුලි සංදේශ නියාමන කොමිසමේ මූලිකත්වයෙන් සිදු විය.

ඩයලොග් සහ මොබිටෙල් ආයතන කෙලින්කන්ද ජනපද ප්‍රාථමික විද්‍යාලයට පරිගණක සහ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දුන්නේය.

පූජ්‍ය රදලියද්දේ පුණ්‍යරතන හිමි, පූජ්‍ය මනම්පිටියේ තිලකසිරි හිමි, මොබිටෙල් සහ ඩයලොග් ආයතන දෙකේ නිලධාරීහූ පිරිසක් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *