27 April 2024
#දේශීය

මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 5.6 ක මුදලක් ඖෂධ සැපයීම වෙනුවෙන් වෙන්කලා – සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්

ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශය ගෙවීම් පියවීම සදහා රුපියල් බිලියන 5.6 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කල බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල මෙන්ම මූලික රෝහල් වල පවතින ගැටලු හදුනාගෙන ඒවාට කඩිනම් විසදුම් ලබා ගැනීමේ අරමුණින් පැවැත්වු විශේෂ සමුළුවකට අද (27) උදැසන එක්වෙමිනි. එම සමුළුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඉදිරි මාස දෙක සදහා ඖෂධ සැපයීම වෙනුවෙන් අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් මණ්ඩල වෙත සංදේශයක් යොමු කිරීමටත් ඉන් අනතුරුව අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ඉදිරියේ දී රජයේ රෝහල් වල සියලු හිඟ බිල්පත් පියවීම සදහා කඩිනම් වැඩ පිලිවෙලක් මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර සකස් කරන බවත්, සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් තමන් උපරිමයෙන් කැපවී කටයුතු කරන බවත් , ඒ වෙනුවෙන් සියලු නිලධාරීන්ගෙන් සහය තමන් අපේක්ෂා කරන බවත්ය.

මෙම විශේෂ සමුළුව සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය ආයතනය වල අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය අධිකාරිවරුන් , ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් , ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහභාගී වූහ.

මෙහිදී ප්‍රධාන රෝහල් මෙන්ම ප්‍රාදේශීය රෝහල් වල පවතින වෛද්‍ය , හෙද ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල හිඟතාවය පිළිබඳව , රෝහල් වල පවතින ඖෂධ වර්ග වල හිඟතාවය පිලිබදව, පවතින ආර්ථික අර්බුදය හමුවේ මුදල් කළමණාකරණය කරමින් ගැටලු විසදීම, ස්වස්ථා නව දත්ත පද්ධතිය පිලිබදව, ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීමට ගතයුතු ක්‍රමවේදයන් හා මදුරු ව්‍යාප්තිය හදුනාගෙන එය පාලනයට පියවර ගැනීම, මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය පිලිබදව ගත යුතු ඉදිරි පියවරයන්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම, විදේශීය රටවල පුහුණුව සදහා සහ රැකියාවන් සදහා යන වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට ඇති හැකියාව පිලිබදව ආදී කරුණු රැසක් වෙනුවෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කල අතර එම ගැටලු වලට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන විසදුම් පිළිබඳවද මෙහිදී තීරණය කෙරිණි. එමෙන්ම ගැටලු සදහා ලබා ගත් විසදුම් වල ප්‍රගතිය ඉදිරි සමුළුවකදී අවධානයට ගැනීමටද මෙහිදී තීරණය විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලුම නියෝජ අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *