27 April 2024
#දේශීය

ඇඳිරි නීතිය කැඩූවන් 56000 පනියි : හෙට සිට රට වැඩ මෙහෙමයි

කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඊයේ (16) රාත්‍රී 8.00  සිට හෙට(18) අලුයම 5.00 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලාත්මකව පවතී.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක වෙත ඊයේ රාත්‍රී 8.00ට ඇඳිරි නීතිය පැනවූ අතර එය හෙට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පපවසා ඇත.

එසේම කොළඹ  සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

සෙසු දිස්ත්‍රික්කවලට හෙට සිට ලබන 23 වන සෙනසුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 තෙක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳදහන් කළේය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛණ්ඩව පැවතිය ද ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වැනිදා සිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබුණි.

මීට පෙර උපදෙස් ලබාදුන් පරිදි හෙට සිට එම වැඩපිළිවෙල යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අංකයට අදාළව පුද්ගලයන්ට අත්‍යාවශ්‍ය සේවා සඳහා පා ගමනින් ගමන් කළ හැකි ආසන්නම ප්‍රදේශය පිහිටි වෙළෙඳසැල්, ඖෂධ සැල් වෙත ගමන් කළ හැකියි.

රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවයට වාර්තා කරන පුද්ගලයන්ට අදාළ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු ප්‍රවාහන පහසුකම් ලබාදිමට බස් රථ සහ දුම්රිය යොදවා තිබේ.

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට ත්‍රිරෝද රථ මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීමට අවසර ලබා දී ඇති බව රජය ප්‍රකාශ කළේය.

මේ අතර හෙට දුම්රිය ගමන් වාර 19ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ති‍බේ.

දුම්රියේ ආසන කලින් වෙන්කර නොගත් පිරිස් සඳහා කොන්දේසී සහිතව දුම්රිය ස්ථානාධිපතිවරුන් හරහා ගමනාගමන පහසුකම් සලසාදීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ සඳහා ආයතනික හැඳුනුම්පත හා කැඳවීමේ සහතිකයක් ඉදිරිපත් කළ යුතු අතර ප්‍රමාණවත් පරිදි ආසන පවතින්නේ නම් පමණක් මගීන්ට එම අවස්ථාව උදාවෙයි.

පුද්ගලයන් 56326ක් අත්අඩංගුවට !

 මේ අතර පසුගිය මාර්තු 20 වන දින සවස 6 සිට අද(17) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 56 326 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 15 490 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඊයේ(16) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වු පැය 24 තුළ දී පමණක් පුද්ගලයින් 620 ක් හා වාහන 274 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මාර්තු 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 13556 ක් පනවා ඇති අතර නඩු පැවරීම්වලට අදාළ දඩුවම් නියම කිරීම් 5221 ක් ද සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *