අපි අවුරුදු 30ක් බෝම්බත් එක්ක ජීවත් වූ පිරිසක් කියා බොහෝ අයට අමතක වී ඇති බවත් අප්‍රේල් 21 වන දින සිද්ධිය ලංකාවේ පළමු වතාවට බෝම්බ පිපිරීමක් සිදු වු මෙන් ඇතැම් අය කතා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා අද (07) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ තමා මේ රටේ 06 වන ජනාධිපතිවරයා බවත් මීට පෙර ජනාධිපතිවරු 05 දෙනා කාලයේම බෝම්බ පිපිරිම් සිදු වු බවයි.
නමුත් ඒක බොහෝ අයට අමතක වී විවිධ කතා පවසන අතර දේශපාලන යතාර්ථය, ඒ වගේම යුද්ධයට පසුබිම් වූ කාර්යයන් මේවා පිළිබඳව අප ඉතාමත් වගකීමකින් කටයුතු කිරීම අවශ්‍ය වන බව ජනාධිපතිවරයා පැවසිය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ සම්පුර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.
මූලික වශයෙන් ම මේ සිදුවීම සිදු වූ අප්‍රේල් 21 දා.කවුරුත් දන්නා පරිදි ඒ වගේම දැඩි විවේචනයට මා ලක් වූ කරුණක් බවට පත්වුනා. අප්‍රේල් 21 මා සිංගප්පූරුවේ සිටින විටයි උදේ 10 ට පමණ මේ සිදුවීම පිළිබඳව මට වාර්තා වුනේ. ඒ අවස්ථාවේදීම මා කල්පනා කළේ මට ඇතිවෙච්ච දැඩි තැති ගැන්ම සමඟ දැඩි වේදනාවක් සමඟ මේ සිදුවීම කෙසේ සිදුවුනාද කියන කාරණය. ඒ වනවිට තේරුම් ගැනීමට පුළුවන් කමක් තිබුනේ නැහැ එකවරම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සම්බන්ධවී මේ සිදුවීම සිදුවුනයි කියලා. ඒ වගේම සිංගප්පූරුවේ සිටි උදේ 10 ට පමණ දැනගත් මා 12 පමණ වනවිට මා අසළ සිටි ශ්‍රී මාගේ ලාංකික මිත්‍රයෙක් ඔහුගේ ජංගම දුරකථනයේ තිබු අපේ ඩී. අයි.ජී.කෙනෙකුගේ ලිපියක් සමාජ වෙබ් අඩවි වල යනවිට සොෂල් මීඩියා වල මට පෙන්වුවා මෙන්න මේ විදිහේ ඩී.අයි.ජී. කෙනෙකුගේ ලිපියක් මෙහෙම දැන් සොෂල් මීඩියාවල යනවා කියලා. ඒ ලිපිය දුටුවිට මා කල්පනා කළා මේ සිදුවීම පිළිබඳව. එසේනම් මේ සිදුවීමට පෙර ආරක්ෂක අංශ වලට වාර්තා වී තිබෙන බව ඒ ලිපියෙන් පෙනීගියා. මා ඒ මොහොතේම තමයි තීරණය කළේ එහේ සිට මේ සිද්ධියට වගකිවයුත්තන් කවුද, මේ සම්බන්ධයෙන් වහා සොයා බැලිය යුතුයි කියන කාරණය සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් මංඩලයක, පරීක්ෂණ මංඩලයක් පත් කිරීම.
මම ලංකාවට ඒමට පෙර සිංගප්පූරුවේ සිටම ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාට මම කතා කරලා කිවුවා, මෙන්න මේ අයගෙන් මේ පරීක්ෂණ මංඩලය වහාම පත් කරන්න, හෙට උදේ ඒ අයට පත්වීම් දෙන්න ඕනෙයි කියලා. ඊට පැය කිහිපයකට පසු මම දිවයිනට ඒමට පිටත්වුනා. 22 දා උදේ ජාතික ආරක්ෂක මංඩලය උදේ 9 ට රැස්වුනේ, ජාතික ආරක්ෂක මංඩලය රැස්වීමට කළින් මේ විශේෂ පරීක්ෂණ මංඩලයට ශ්‍රේෂ්ඨාකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රමුඛව ඊට සුදුසු පුද්ගලයින් තිදෙනෙක් පත්කළා. හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාත්, ශ්‍රී ලංකා පරිපානල සේවයේ අවංක දක්ෂ විනයගරුක නිලධාරියෙක් වූ ජයමාන්න මහතාත් මා මේ පරීක්ෂණ මංඩලයට පත්කලා. ඉන්පසුව තමයි එදා ආරක්ෂක මංඩලය අපි රැස්වුනේ. ආරක්ෂක මංඩලය රැස්වෙලා අපි දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළා. ඒ වගේම ඒ අවස්ථාවේ ගතයුතු පියවර වගේම මා සංගප්පූරුවේ සිට මෙය දැනගත් වහාම එහේ සිට කථා කරලා ආරක්ෂක ප්‍රධානීන්ට ඒ වගේම අගමැතිතුමාට මේ පිළිබඳ මූලික අවශ්‍යය, කල යුතු පරීක්ෂණ. කළයුතු කාර්්‍යයන් පිළිබඳව මම උපදෙස් දුන්නා.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම මම කියන්නට ඕන ගතවූ දින 10 ක කාල සීමාව තුළ මේ සිද්ධිය සම්බන්ධවත්, නැවත මෙවැනි සිදුවීමක් වීම වළක්වා ගැනීම සඳහාත්, මීට වගකිවයුත්තන් සෙවීම සඳහාත් ගතහැකි, ගතයුතු සෑම පියවරක්ම ගරු සභාපතිතුමනි මේ වනවිට මම අරගෙන තිබෙනවා. අප්‍රේල් මාසේ 24 වනදා මම සියළුම තානාපතිවරු කැදෙව්වා. රටවල් 53 ක තානාපතිවරු ඇවිල්ලා හිටියා. ඒ අයට පැහැදිළි කළා සිදුවීමේ තත්ත්වය සහ රජය ගන්නාවු පියවර පිළිබඳව. ඒ වගේම අප්‍රේල් 24 දා, රාත්‍රි 9 ට, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු ඉහළ නිලධාරීන් සියළු දෙනා රැ 9 ට කැදවලා පැය දෙකක පමණ සාකච්ඡාවක් පවත්වලා ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් සමඟ ඔවුන්ට උපදෙස් දුන්නා. අප්‍රේල් 25 වෙනිදා මේ ගරු සභාව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂත් මේ ගරු සභාවට අයත් නැති එහෙත් සභාව නියෝජනය කරන පිළිගත හැකි දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත සර්ව පාක්ෂික දේශපාලන සමුළුවක් මම කැදෙව්වා. මම ආරාධනා කළ සියළුම දේශපාලන පක්ෂ පැමිණියා.
මම ඒ පිළිබඳව මේ ගරු සභාව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ නායකයින්ටත් පැමිණි සියළු දෙනාටත් මගේ ගෞරවනීය ස්තුතිය මම පුද කරනවා. එහිදී බොහෝ යෝජනා විවේචන,චෝදනා ඒවා ඉතාම දැඩි සංයමයකින් හා විනයකින් එහිදි සාකච්ඡාවට ලක්වුනා. මම ඉතාම වැදගත්කොට සලකනවා ඒ සර්ව පාක්ෂික සමුළුව. එදාම අප්‍රේල් 25 දා සවස, සර්ව ආගමික නායකයින්. බෞද්ධ , හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, ඒ සෑම කෙනෙක්ම කැදවලා සර්ව ආගමික නායකින් සමඟ පවතින තත්ත්වය පැහැදිළි කරලා උන්වහන්සේලාගේ උපදෙස් සහ අනුශාසනා අවවාද ලබාගෙන විශේෂයෙන්ම ආරක්ෂක ප්‍රතිසංවිධාන සඳහා ඒ කටයුතුත් මා මුල් කර ගත්තා. සර්ව පාක්ෂික සමුළුවේදි දේශපාලන පක්ෂ නායකයින් කියු බොහෝ දේවල් අපේ ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවට මා ලක් කරනු ලැබුවා. අප්‍රේල් 26 දා, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් නෙවෙයි මම කැදෙව්වා. කැදවලා ඒ අයට තියෙන තත්ත්වය පැහැදිළි කළා වගේම මෙවැනි අවස්ථාවක විශේෂයෙන්ම හදිසි නීති බලතල ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ගැසට් කරපු අවස්ථාවක, රටේ පවතින තත්ත්වයන් සමඟ මාධ්‍යයේ වගකීම සහ මාධ්‍යයේ සධාචාරය පිළිබඳව විශේෂයෙන් මම ඔවුන්ට කරුණු පැහැදිළි කරනු ලැබුවා. අප්‍රේල් 29 දා මේ සිද්ධියනිසා විශාල බරපතල ආර්ථික අලාභයකට සහ විපතට පත්වෙච්ච සංචාරක ව්‍යාපාරයට බලපාන, හෝටල් හිමියන් සංචාරක මංඩලය, ඒ වගේම මුදල් අමාත්‍යංශය වගේ ආයතන මේ සියල්ල කැදවලා. සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ ගැනීම සහ සංචාරක ව්‍යාපාරයේ සිටින ව්‍යාපාරකයින්ගේ දුක් ගැනවිලි මේවා පිළිබඳව අපි සාකච්ඡා කළා.
සංචාරක ව්‍යාපාරයට දියයුතු සහන, ඔවුන්ගේ බැංකු ණය කල් දැමීම, සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකියාවක් තියෙනවනම් ඒ ගැන රජයෙන් යම් අනුග්‍රහයක් දැක්වීම, මේ කරුණු තීන්දු තීරණ අපි සාකච්ඡා කරලා යම් එකඟත්වයන්ට අපි එළඹුණා. ඒ වගේම මැයි 2 දා මම පලාත් නවයෙම ආණ්ඩුකාරවරු නවදෙනා කැදෙව්වා. ආණ්ඩුකාරවරු නවදෙනා කැදවලා තමාගේ පලාතේ, හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරින් සමඟ මෙවැනි අවස්ථාවක කටයුතු කිරීමේ තත්ත්වය, ගතයුතු ක්‍රියා මාර්ග මම ඒ අයට පැහැදිළි කළා. විශේෂයෙන්ම පාසල් විවෘත කිරීමෙන් පසුව, පාසල් වල ආරක්ෂාව පිළිබඳව තමාගේ ප්‍රදේශයේ පොදු මහජන ස්ථාන රෝහල්, බස් නැවතුම්පොළවල්,දුම්රිය ස්ථාන , මේවායේ ආරක්ෂාව පිළිබඳව, ප්‍රාදේශීය ආරක්ෂක නිලධාරින් සමඟ කටයුතු කිරීfමී වැදගත්කම ආණ්ඩුකාරවරු නවදෙනා සමඟ සාකච්ඡා කරලා, ඔවුන්ට ඒ පිළිබඳව උපදෙස් ලබාදුන්නා. ඒත් එක්කම මැයි 2 දා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු හමුදා ප්‍රධානින් සමඟ මාව හමුවෙලා ආරක්ෂක තත්ත්වයට විශේෂයෙන්ස සැලකිල්ලට ගතයුතු මෙවැනි අවස්ථාවක කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක
මැයි දෙවෙනි දා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු ආරක්ෂක ප්‍රධානීන් සමග මාව හමුවෙලා ආරක්ෂක තත්ත්වයට අදාළ ව සැලකිල්ලලට ගතයුතු හිටපු ආරක්ෂක ප්‍රධානීන් සකස් කළ වාර්තාවක් මා වෙත භර දුන්නා. ඒ වාර්තාව ඉන් පසු පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මා වත්මන් ආරක්ෂක ලේකම් වරයාට භාර දී එහි තිබෙන කරුණුත් සැලකිල්ලට ගෙන ආරක්ෂක ප්‍රතිසංවිධාන කටයුතු වගේ ම ආරක්ෂක අංශවල කාර්යයන් වඩා විධිමත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් දෙනු ලැබුවා. ඒ වගේ ම මැයි හය වැනි දා මම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වන වාණිජ මණ්ඩල නියෝජිතයන් කැදවලා ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කරලා රජය පැත්තෙන් ඔවුන්ට දිය හැකි සහන පිළිබද සාකචිඡා පවත්වනු ලැබුවා.
ඒ වගේම මම පැහැදිලිව කිව යුතුයි ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් මා තනිව පැවැත්වූ රැස්වීමක් නෙවෙයි. අගමැතිතුමා, කැබිනට් මණ්ඩලය ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් මා ආරක්ෂක මණඩල රැස්වීමට ආරාධනා කළා. එසේම විශෙෂයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවිය යුතු බව හැඟුණු විශේෂ පුද්ගලයින්ට මම එයට ආරාධනා කළා. ඒ අනුව පසුගිය දිනක අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා මම ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි කරවා ගත්තා. එතුමා එයට සහභාගි වී එතුමන්ගේ අදහස් ඉදිරිපත් කළා. ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ විද්වතුන් විටින් විට මම මේ රැස්වීමට කැඳවා අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ සලසා තිබෙනවා. එයින් ආරක්ෂක මණ්ඩලයේ ව්‍යුහය මා වෙනස් කොට තිබෙනවා. ඒ නිසා ආරක්ෂක මණ්ඩලය පුලුල් හා ශක්තිමත් ව්‍යුහයක් ඔස්සේ ඉතා ශක්තිමත් ව කියාත්මක වෙන බව මා කියන්න කැමතියි’
ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන තනතුරු මා වෙනස් කළා. ඒ වගේ ම ඇරක්ෂක හමුදාවල යම් යම් අංශවල වෙනස්කම් කළාත. මේ වන විට රටපුරා කළ යුත වැටලීම්, ආරක්ෂක මෙහෙයම්, සෝදිසි කිරීම් සහ අනෙකුත් ආරක්ෂක විධි විධාන වෙනුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට අමතරව ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කරලා මේජර් ජෙනරාල් සත්‍යා ලියනගේ මහතා පත්කළා. මේ ඇතිවු ඛේදවාචකයත් සමග ජනතාව තුළ ඇතිවූ බිය සැක සහ අවිශ්වාසය දුරු කිරීම සදහා වගේම මේ ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම ස‘දහා අපගේ ආරක්ෂක හමුදා ඉතා සාර්ථක මෙහෙයුම් දියත් කොට ඇති බව මට ප්‍රකාශ කළ හැකියි. ඒ අනුව ත්‍රස්තවාදීන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය වගේම ඔවුන් පාවිච්චි කිරීමට සැකසූ ඇඳුම් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමටත් පොලීසිය, ආරක්ෂක අංශ සහ ආරක්ෂක බුද්ධි අංශ සමත් වී තිබෙනවා. ඒ අනුව ආරක්ෂක තත්ත්වය පිළිබඳ සතුටු විය හැකි ඉතාම සාර්ථක ස්ථානයක අද රට තිබෙන බව කිව හැකියි.
මේ ඇතිවු තත්ත්වය පිළිබඳ කවර විවේචන එල්ල උවත් එම විවේචනවල ඇති හිස්කම බොල්බව අපි හඳුනනවා. මෙවැනි ප්‍රශ්නයක් ඇතිවූ විට ඒ ගැන විවේචන ඉදිරිපත් කරන්නා මෙවැනි ප්‍රශ්න පිළිබඳ යම් අවබෝධයක් අතිව එම විවේචන ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අප පිළි ගත යුතුයි. පසුගිය දිනක ලංකාවට පැමිණි එංගලන්තයේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ පිළිබඳ ඇමතිවරයා මා හමුවී කතාව ආරම්භ කළේ ම ජනාධිපතිතුමනි, මේ ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නයක් නොවෙයි, මෙය ලෝකයේ ප්‍රශ්නයක් බව ඔබ ඔබේ රටේ ජනතාවට කියන්න කියලයි.
මේ ප්‍රශ්නය ගැන අසාධාරණ ලෙස විවේචනය කරන අය මේ ප්‍රශ්නයේ පසුබිම සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වල ක්‍රියාකාරීත්වය ගැන ඉතාම අනවබෝධයෙන් කතා කරන බවයි මට පෙනෙන්නේ. බෞද්ධ දර්ශනයේ පැහැදිළ කරන හේතුඵලවාදය අනුව කල්පනා කලත් යම් ප්‍රශ්නයක් අතිවීමට බලපෑ හේතුව, එහි ප්‍රතිඵලය ගැන අපි සැලකිල්ලට ගත වුතු වෙනවා.
මේ වන විට ආරක්ෂක හමුදා ඉතා සාර්ථක ලෙස මෙහෙයුම් දියත් කර රටේ ජනතාවට යම් සෑහිමකට පත්විය හැකි, සතුටුදායක තත්ත්වයකට රට ගෙන විත් ඇති බව හෘද සාක්ෂියට එකඟ ව යම් උගත් කමක් ඇති බුද්ධියය් ඇති අයෙක් පිළිගන්නා බව මට විශ්වාසයි.
ප්‍රධාන වශයෙන්ම පුද්ගලයන් සහ අනෙකුත් බඩු භාණ්ඩ පිළිබඳව කථා කළොත් සැකකරුවන් විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්ඩඅංගුවට ගෙන තිබෙන පිරිසගෙන් 12 දෙනෙක් ඉතාමත් ප්‍රබල ත්‍රස්තවාදින්, අපගේ ආරක්ෂක අංශ විසින් බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් සෙයාගෙන තිබෙනවා. මේ අත්ඩඅංගුවට ගැනීම් වගේම මේ අතරේ මේ ත්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධ අයගේ සේෆ් හවුස් 13ක් සොයාගෙන ආරක්ෂක අංශ භාරයේ තිබෙනවා. ත්‍රස්තවාදින්ගේ බැංකු ගිණුම් 41ක් සොයාගෙන තිබෙනවා. ඒ බැංකු ගිණුම්වල බැංකු කටයුතු තහනම් කර තිබෙනවා. මේ ත්‍රස්තවාදයට සම්බන්ධව දැනට සොයාගෙන තිබෙන සෑම කෙනෙකුගේම බැංකු ගිණුම්, නිවාස, දේපළ, වත්කම් සියල්ලම රාජසන්තක කිරීමට මේ වන කටයුතු කර අවසන් කියන එකත් ප්‍රකාශ කරන්න ඕන.
ඒ වගේම මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට සුළු වශයෙන් උදව් කළ අයට, අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයට උදව් කළ අයට මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය විසින් එක් අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් ගෙවීම් කරලා තිබෙනවා, ඒ මුදල් අපි දැනට සොයාගෙන තිබෙනවා, දැනට රුපියල් මිලියන 18 ක් එලෙස හමු වී තිබෙනවා. ත්‍රස්තවාදින්ට අයත් වාහන 15ක් අපි අත්අඩංගුවට අරගෙන තිබෙනවා, යතුරු පැදි 04ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා, ඒ වගේම මේ තත්ත්වයන්වලදී මම කියන්න ඕන, මේ අත්අඩංගුවට ගැනීම්, වගඋත්තරකරුවන්, සැකකරුවන්, ත්‍රස්තවාදින් වගේම වත්කම්, දේපළ මේ සියල්ල සමග කෙරෙන පරික්ෂණ කටයුතු ඉතාම සාර්ථක තැනකයි තිබෙන්නේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විවිධ විග්‍රහයන්වලදි මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදි ව්‍යාපාරයේ ස්වභාවය පසුබිම් පිළිබඳ යම් ප්‍රමාණයකට හෝ කතා කිරීම අවශ්‍ය වෙනවා. සැප්තැම්බර් 11 බිල්ලාඩන්ගේ අල්කයිඩා සංවිධානය ඇමරිකාවේ නිව්යෝර්ක්වලට පහරදුන් වෙලාවේ ඒ සුළු මොහොතකින් 2700කට වැඩි පිරිසක් ඒ ස්ථානයේ මිය ගියා. ඇමරිකාවට තවම පුළුවන්කමක් නැහැ එතන දි මිය ගිය සංඛ්‍යාව හරියටම කොතෙක් ද කියල කියන්න. ඒ අවස්ථාවේ ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට බෝම්බ දැම්මා. ලෝකයේ ආරක්ෂක කටයුතු පිළිබඳව ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් අධි තාක්ෂණය, බලවත් ශක්තිය සියලු සම්පත් තිබෙන ඇමරිකාවට පුළුවන්කමක් ලැබිලා තිබුණේ නැහැ එය වළක්ව ගන්න.
මේ අප්‍රේල් 21 ත්‍රස්තවාදී ව්‍යාපාරය ලෝකයේ ප්‍රබල රටවල් සියල්ලටම පහර දී තිබෙන බව මේ ගරු සභාවේ සෑම කෙනෙක්ම දන්නවා. ඇමරිකාව ද, රුසියාව ද, එංගලන්තය ද, යුරෝපයේ රටවලින් තුනෙන්, දෙකකට ඕස්ටේ්‍රලියාව, කැනඩාව, මැලේසියාව, රුසියාව, ඉන්දුනිසියාව, ඉන්දියාවට අවස්ථා ගණනාවකදී ඔවුන් පහර දුන්නා. ඒ කිසිම රටක කෙනෙකුට පුළුවන්කමක් ලැබුණේ නැහැ ඒවා වළක්වා ගන්න. යුරෝපය ඇතුළු බොහෝ බලවත් රටවල් ඒ පහරදීම්වලින් පසුව කළේ මෙම ත්‍රස්තවාදී ව්‍යාපරවල මුලස්ථාන සොයා ගොස් පහර දීමයි. එහි එක් අවස්ථාවක් තමයි සිරියාව. ඔවුන්ගේ ප්‍රධාන පුහුණු කඳවුර සිරියාව ලෙස හඳුනාගත් නිසා විශාල වශයෙන් පහර දුන්නා.
මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය විනාශ කරන්න වැඩිපුරම ප්‍රහාර එල්ල කරලා ඔවුන් මෙල්ල කිරීමේ ප්‍රමුඛ කාර්යය කරලා තිබෙන්නේ රුසියාව. ජනාධිපති පුටින්. ඔහු තමයි මේ ත්‍රස්තවාදය විනාශ කිරීමේ ප්‍රමුඛ කාර්යය ඉටුකරලා තිබෙන්නේ. යුරෝපය, ඇමරිකාව, බටහිර රටවල් මෙම ත්‍රස්තවාදින විනාශ කිරීම සඳහා විශාල වශයෙන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම මෙහිදී මූලික වශයෙන් මම සඳහන් කරන්න ඕන, අපේ ඇතැම් අයට අමතක වෙලා තිබෙනවා අපි අවුරුදු 30ක් බෝම්බත් එක්ක ජීවත් වූ පිරිසක් කියලා.
සමහර අය අප්‍රේල් 21 සිද්ධිය ගැන කථා කරන්නේ ලංකාවේ පළමු වතාවට බෝම්බ පිපිරීමක් සිදු වුණා වගේ. ඒ නිසා තමන්ගේ බුද්ධිය, දැනුම අවබෝධය සමඟ මේ රටේ අතීතයත්, අන්තර්ජාතික දේශපාලනයත්, ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් මේ කියන කරුණු සැලකිල්ලට ගැනීම මෙවැනි කාර්යයක දී ඉතා වැදගත් වෙනවා.
මේ පිළිබඳව කතා කරනකොට මම මතක් කරන්න ඕන මේ රටේ 06 වන ජනාධිපතිවරයා මම කියලා ඔබ දන්නවා. මට කළින් හිටපු ජනාධිපතිවරු පස් දෙනාගේම කාලේ බෝම්බ පිපුරුවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඉදලා අනිත් පස් දෙනාගේම කාලේ බෝම්බ පිපිරුවා. නමුත් ඒක බොහෝ අයට අමතක වෙලා කතා කරනවා. ඒ නිසා මේ දේශපාලන යතාර්ථය, ඒ වගේම යුද්ධයට පසුබිම් වූ කාර්යයන් මේවා පිළිබඳව අප ඉතාමත් වගකීමකින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.
අපි ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳව කතා කරන විට මූලික වශයෙන් තේරුම්ගත යුතු වෙනවා මෙය ලංකාවේ ප්‍රශ්නයක් නොව, ලෝකයේ ප්‍රශ්නයක් බව. මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක්, මේකේ මූලස්ථානයක් ලංකාවේ නැහැ. අද මේ සිද්ධියත් සමඟ ඔබට මතක ඇති, අප්‍රේල් 21 මේ සිදුවීම සිදුවෙලා දවස් දෙකකට පස්සේ අප්‍රේල් 23වනදා මේ ත්‍රස්තවාදි ව්‍යාපාරයේ නායකයන් ලෝකයේ කොහේ හරි තැනක ඉදලා ප්‍රකාශයක් කළා ලංකාවේ මේ පිපිරීම්වල වගකීම ඔවුන් ගන්නවා කියලා.
ඒ වගේම සමන්තුරේ නැගෙනහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුම් සහ පිපිරීම්වලින් පසුව අවුරුදු 04කට කළින් මරලා දැම්මා කියලා ලෝකයේ බලවතුන් සියලුදෙනා පිළිඅරගෙන සිටි මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයා නැගිටලා එළියට ඇවිල්ලා කිව්වා, ලංකාවේ ප්‍රහාරයේ වගකීම ඒ අය ගන්නවා කියලා. ඒ නිසා මේ තත්ත්වය කෙතරම් බරපතළ ද කියන කාරණය අප අවබෝධ කරගත යුත්තේ ඇයි, ඇමරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප්, රුසියාවේ පුටින්, එංගලන්තයේ තෙරේසා මේ, මේ හැම කෙනෙක්ම හිතාගෙන හිටියා දැන් අවුරුදු 04කට කළින් මේ ත්‍රස්තවාදි නායකයා මිය ගියා කියලා.
ඔවුන්ගේ බුද්ධි අංශ. ඔවුන්ගේ ආරක්ෂක අංශ අපට වඩා කෙතරම් දියුණු තාක්ෂණයත් සමග ඒකාබද්ධද කියලා ඔබ අප දන්නවා. නමුත් මේ නායකයා අවුරුදු 04කට පස්සේ නැගිට්ටහම ඒ අය පුදුමයට පත් වුණා. මේ දිනවල දිවයිනට පැමිණ සිටින අපේ මිත්‍ර රටවල් 08 ක පමණ ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීමේ බුද්ධි විශේෂඥයන් ඒ සියලුදෙනා මාව හමු වුණා. එහිදී මට පෙනී ගිය කාරණයක් තමයි අපි නෙවේ ඔවුන් ලොකු තැතිගැනිමකට පත්වෙලා තිබෙනවා අවුරුදු 04කට පෙර මිය ගියා කියපු මේ නායකයා එළියට ආපුවහම අපට වඩා ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේ පුද්ගලයා කොහොමද ජීවත් වෙලා ඉන්නේ කියලා.
එතකොට මෙවැනි තත්ත්වයන් පිළිබඳ අප සැලකිල්ලට ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ගරු සභාපතිතුමනි, නොයෙකුත් අවිවේකි තත්ත්වයන් තුළ වුවද මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳව මේ දින 10 තුළ කියවීමෙන් ලබාගත් දැනුම සමඟ ජාත්‍යන්තර ත්‍රස්තවාදය, මේ අප්‍රේල් 21 ත්‍රස්ත ව්‍යාපාරය කුමන ආකාරයෙන් ද යන්න ලබාගත් සුළු දැනුමෙන් මා කියන්න ඕන මේ ත්‍රස්තවාදයේ අකුරු දෙක මම පාවිච්චි කරන්නේ නැහැ. මොකද ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක්, මේ අකුරු දෙක පාවිච්චි කරන්නේ නැහැ. මේ අකුරු දෙක හෝ අකුරු හතර පාවිච්චි කිරීම තුළ ඔවුන්තේ ත්‍රස්තවාදි ව්‍යාපාරය අනියම් ලෙස පිළිගන්නා එකක් බව පෙන්නුම් කරනවා.
ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා කළ ප්‍රකාශයක් මම කියෙව්වා කිසි විටෙකත් මේ අකුරු දෙක හෝ අකුරු හතර ලොක්යේ කිසිඳු රාජ්‍ය නායකයෙක් පාවිච්චි නොකළ යුතුයි. එසේ පාවිච්චි කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන ඔවුන්ගේ රාජ්‍යය පිළිගැනීම් බවට පත්වෙනවා කියලා.
ඒ නිසා මමත් මගේ මේ කතාවේ කිසි තැනක ඒ අකුරු දෙක හෝ අකුරු හතර මා පාවිච්චි නොකළ බව ඔබට පැහැදිලි ඇති. මේ ව්‍යාපාරය පිලිබඳ කියැවීමේ දී මම ලබාගත් තොරතුරු, ඒ වගේම පිටස්තරෙන් පැමිණි බුද්ධි විශේෂඥයන් සමඟ සාකච්ඡා කිරිමේ දී ඔවුන් මට කියු කාරණයක් තමයි මේ ව්‍යාපාරය ඉලක්ක කරන්නේ කුමන අය ද කියන කාරණවා.
මෙම ත්‍රස්තවාදී ව්‍යාපාරය බටහිර චින්තනයට විරුද්ධව ගොඩනැගුණු ව්‍යාපාරයක්. බටහිර චින්තනයට විරුද්ධව ගොඩනැගුණු ව්‍යාපාරයක මුලික ඉලක්කය කිතුණු දහමට විරුද්ධව, කුරුසයට විරුද්ධව සටන් කිරීම. මෙහිදී සඳහන් කෙරෙන කාරණයක් තමයි ඔවුන් ඉලක්ක කරනවා, ඔවුන්ගේ විනාශ කිරීම්වලදී එක් පැත්තකින් ඇමරිකා එක්සත් ජනපද පුරවැසියන්, ඊළගට දෙවන කාරණය අපි බොහෝ විට කතා කරන සුදු හම තිබෙන අය, සුදු ජාතිකයන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයක්. ඊළඟට කිතුණු ජනතාව ඊළඟ ඉලක්කය. විශේෂයෙන් බටහිර චින්තනයට විරුද්ධව ඔවුන්ගේ දර්ශනයේ දී මේ උන්මාදයෙන් පෙළෙන අය උතුම් කුරුසයට විරුද්ධව සටන් කරනවා. ඔවුන්ගේ කියමනක තිබෙනවා වතිකානුවේ ඔවුන්ගේ කොඩිය එසවු දවසට තමයි ඔවුන් ජයග්‍රහණය කළා කියලා කියන්නේ කියලා. ඒ නිසා අපි මේ තත්ත්වය තේරුම්ගත යුතු වෙනවා.
පසුගිය මාසයේ ප්‍රංශයේ ප්‍රධාන ඉතාම පැරණි කිතුණු දේව මන්දරයක් ගිනි ගත්තා. ඒ සිදුවීම මතක ඇති. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි කතා කිරීමේ දී රට තුල අපි අංශ කිහිපයක් බලන්න ඕන, බුද්ධි අංශ, ආරක්ෂක අංශ ත්‍රස්තයින් මර්දනය, විනාශය මෙය සම්පුර්ණයෙන්ම කරගෙන යනවා. මම උපදෙස් දී තිබෙන්නේ ත්‍රස්තයින් විනාශ කළයුතුයි කියන එකයි. මේ ත්‍රස්ත ව්‍යාපාරය ඔබේ මගේ රට තුළින් විනාශ කළයුතුයි, මීට සම්බන්ධ සෑම කෙනෙක්ම විනාශකළයුතු බවටයි මම ආරක්ෂක අංශවලට උපදෙස් දි තිබෙන්නේ. මම මේ කියන කථාව නොයෙකු විදියේ විවේචනවලට ලක් වෙන්න පුළුවන්. නමුත් මගේ අදහස ඒකයි.
දැන් මේ ප්‍රශ්නය තුළ බුද්ධි අංශ, ආරක්ෂක අංශ ඒ විදියට වැටලීම් කරමින්, අත්අඩංගුවට ගනිමින් ඒ කටයුතු කරලා ත්‍රස්තයින් විනාශ කිරීම, මර්දනය කරනවා. ඒ සමඟ අපේ වගකීම ගත්තොත් මේ ගරු සභාවේ සිටින අගමැතිතුමත්, විපක්ෂනායකතුමත් ඇතුළු සියලු දේශපාලන නායකයන් වගේම මේ රටේ සියලු දේශපාලන නායකයන්ගෙන්, සියලු දේශපාලන ක්‍රියාකාරින්ගෙන් මේ රටේ සියලු බෞද්ධ, කිතුණු, ඉස්ලාම් සියලු ආගමික නායකයන්ගේ ප්‍රධාන වගකීමක් වෙනවා මේ ප්‍රශ්නය තුළ මුස්ලිම් ජනතාවගේ තත්ත්වය තේරුම් ගන්න, සිංහල ජනතාවගේ තත්ත්වය වගේම. දැන් අද තත්ත්වය කුමක් ද සිංහල ජනතාවගේ බයෙන් ඉන්නවා මුස්ලිම් ජනතාව කෙරෙහි සැකයෙන් බලනවා, මුස්ලිම් කෙනෙක් එනකොට බෝම්බයක් පුපුරයි, මොකක් හරි විනාශයක් වෙයි කියලා. පාසල් යන දරුවේ පවා බයෙන් ඉන්නවා. මුස්ලිම් පවුල්වලත් තත්ත්වය ඒකයි, ඔවුන් බයෙන් ඉන්නවා කුපිත වෙලා සිංහල ජනතාව පහර දෙයි කියලා. එතකොට මේක දෙමළ ජනතාවට බලපාලා තිබෙනවා කියන පැහැදිළියි. ඊයේ පාසල් විවෘත කළ විට උතුරු ප්‍රදේශයේ යම් සතුටුදායක තත්ත්වයක් තිබුණා. නමුත් උතුරු ප්‍රදේශයේ දරුවෝ සෑහෙන්න පිරිසක් පාසල්වලට ආවේ නැහැ.
එතකොට මාධ්‍යවල පළ වෙලා තිබුණා, මාධ්‍යවල හැසිරී නම් මහා පුදුමාකාරයි, සමාජ වෙබ් අඩවි වගේම විද්්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය විශේෂයෙන්ම මේ වගේ වෙලාවක දී කටයුතු කිරීම පිළිබඳව රටේ සාමය සඳහා, රටේ දේශපාලන ස්ථාවරත්වය සඳහා, මේ ත්‍රස්තවාද තුරන් කිරීම සඳහා, ජනතාව සන්සුන් කිරීම සඳහා මේ සියල්ලේ දී මාධ්‍යයට තිබෙනවා පුළුල් වගකීමක් සහ කාර්යභාරයක්. ඇතැම් වෙලාවට පළවන ප්‍රවෘත්ති පුදුමාකාරයි. පුපුරන ද්‍රව්‍ය ලොරි 20ක් උතුරට ගිහිල්ලා තියෙනවා කියලා මම දැක්කා පුවත් පතක තිබෙනවා. එතකොට අපේ ද්‍රවිඩ ජාතික සංධානය නියෝජනය කරන මන්ත්‍රීවරු හමුදා කඳවුරු මෙහේ එපා, හමුදා කඳවුරු උතුරට එපා කියලා පහුගිය කාලයේ දිගටම කථා කෙරවා, නමුත් ඊයේ පෙරේදා එතුමන්ලා කිව්වා උතුරට හමුදාව එවන්න, කියලා මම ඒ ගැනත් සතුටු වෙනවා, මොකද හමුදාවේ තිබෙන වැදගත්කම ඒ විදියට තේරුම් ගැනීම පිළිබඳව.
එතකොට මේ ප්‍රවෘත්තිවලින් සෑම කෙනෙක්ම බියට පත් වෙනවා. සමාජ වෙබ් අඩවි වැඩ කරන්නේ පුදුමාකාර විදියට. ඒවාට විරුද්ධව කටයුතු කරනකොට මාධ්‍ය නිදහස සහ නොයෙක් දේවල් කියනවා. එතකොට මේ තත්ත්වයන්වලදී මූලික වශයෙන් අපි මාධ්‍යයේ වගකීම පැහැදිළිව තේරුම්ගැනීම ඉතාමත් අවශ්‍යයි.
දැන් අපිට ලැබිලා තිබෙන බුද්ධි වාර්තා අනුව ප්‍රධාන වශයෙන් මේ ත්‍රස්ත සංවිධානයට ලංකාවේ ක්‍රියාකාරීව සිටින්නේ 150කට අඩු සංඛ්‍යාවක් කියලයි වාර්තා වන්නේ. එතකොට 150කට අඩු සංඛ්‍යාවක්නම් අපි අනෙක් සියලු මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදි ව්‍යාපාරයට තල්ලු කරනවද, අපිට අත්දැකීම තිබෙනවා අවුරුදු 30 ක යුද්ධයේ දී 80 දශකයේ මුල ගත්තොත් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රහාරවල ආරම්භයත් සමග අපේ සිංහල ජනතාව දෙමළ ජනතාව කෙරෙහි ලෝකු සැකයක් ඇතිකරගත්තා හැම දෙමළ ජාතිකයෙක්ම එල්ටීටීඊ ත්‍රස්තවාදී සාමාජිකයෙක් කියලා සැක කරන්න ගත්තා. ඒ තුළ ජාතික සමඟිය නැතුව ගියා, සංහිඳියාව නැතුව ගියා, සිංහල දෙමළ ජනතාව අතර අවිශ්වාසය, සැකය, බිය ඒ සියල්ල ඇති වුණා. ඒ තුළ අපි වෙන් වුණා. 83 කළු ජූලිය නිසා දෙමළ ජනතාවගේ දේපළ, වත්කම්, ජීවිත විශාල වශයෙන් විනාශ කිරීම නිසා දෙමල තරුණයෝ විශාල වශයෙන් එල්.ටී.ටී.ඊ යට ඇඳී ගියා. එල්ටීටීඊ ය ශක්තිම් වෙන්න ප්‍රධාන කරුණක් වුණා 83 කලු ජූලිය සිද්ධිය.
එතකොට අපි දැන් කල්පනා කරන්න ඕන, එල්ටීටීඊ සංවිධානය ශක්තිමත් වුණෙත්, ඒ යුද්ධය අවුරුදු 30කට දිග් ගැස්සුනෙත් ඇයි, මූලික දේ තමයි සියලු දෙමළ ජනතාව කෙරහි අවිශ්වාසයෙන් බලපු එක. එතකොට මෙතනදි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සැක බිය නැති කරන්න තමුන්නාන්සේලා අපි සෑම කෙනෙක්ම ඉතාම වගකීමෙන් කටයුතු කරන්න කියලා සියලුදෙනාගෙන් මම ගෞවරණීය ආයචනයක් කරනවා.
මේ ගරු සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් වගේම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරු වගේම මේ සභාවෙන් පිට සියලුදෙනාගෙන්ම මම ඉල්ලිමක් කරනවා එල්ටීටීඊ යුද්ධයේ ආරම්භයත් එක්ක දෙමළ ජනතාව දෙස බැලු ආකාරයට මේ ප්‍රශ්නයේ දී මුස්ලිම් ජනතාව දෙස බලන්න එපා. විශේෂයෙන් අපේ ආදරණීය සිංහල බෞද්ධ ජනතාවගෙන් මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය ඉක්මනින් වෙනස්කර රටේ ස්ථීර සාමයක් ඇතිකරගන්න පුළුවන්. නමුත් සමහර අන්තවාදී සංවිධාන, සමාජ වෙබ් අඩවි හරහා කරන ප්‍රකාශ, නිකුත් කරන වැරදි ප්‍රවෘත්ති ජනතාවගේ නොමඟ යැවීම්, අසත්‍ය ප්‍රචාර මේ තුළ සිංහල, මුස්ලිම්, ජනතාව අතරේ ඈත්වීමක් ඇති වුණොත්, මුස්ලිම් ජනතාවට ලොකු බියක් ඇති වුණොත් ඒ අය වේගයෙන් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට ඇඳී යනවා.
සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාව වෙසෙන ගමකට ගියහම මම දැකලා තිබෙනවා, සිංහල ගම්මානයකට වඩා ඉන්න තරුණ පිරිස වැඩි. එතකොට ඒ තරුණ පිරිස අපි ආරක්ෂා කරගන්න ඕන. ඒ ගොල්ලෝ කිසිසේත් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට ඇදෙන්න දෙන්න හොඳ නැහැ. ඒකට කළයුතු එකම දේ තමයි අපේ ආරක්ෂක මෙහෙයුම්වලදි පොලිසිය, බුද්ධි අංශ ඉතාම වගකීමකින් කටයුතු කරන්න ඕන, මුසිලිම් ජනතාවගේ හිත් රිදෙන්නේ නැතිව, ඒ අයගේ සිත්වලට වේදනාවක් දෙන්නේ නැතිව, ඒ අයට අවශ්‍ය ආරක්ෂාව දෙනවා කියන අදහස ඒ අයටත් තිබෙන්න ඕන. ඒ තුළ තමයි මුසිල්මි ජනතාව මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට යාම වළක්වා ගන්න අපිට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ කරුණු සැලකිල්ලට ගෙන අපි කටයුතු කරනවා වගේම මේ අත්දැකීම් මේ පිළිබඳ ඇති වූ තත්ත්වයන් මේ සියල්ලේදී එක්ව ක්‍රියාකිරීමේ දී මූලික වශයෙන්ම අපේ ආරක්ෂක හමුදා කෙරෙහි, බුද්ධි අංශ කෙරෙහි විශ්වාසයක් තියන්න ඕන.
ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ කෙරෙහි විශ්වාසයක් තැබිම තමයි මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ. ඒ අයට දෙන්න තියෙන සියලු බලතල දීලා තිබෙනවා. අලුත් ආරක්ෂක ලේකම්වරයාට මම කියලා තිබෙනවා අවශ්‍ය ඕනෑම විදියට හමුදා ප්‍රධානින් සමඟ සාකච්ඡා කරලා අවශ්‍ය තීන්දු තීරණ අරගෙන වැඩ කරන්න. ඒ ගැන කිසිම වෙලාවක මගේ කිසිම බාධාවක් නැහැ කියන එක.
මම අහගෙන හිටියා මාධ්‍ය තුළ සමහර අය කියනවා හමුදාවට බලය දීලා නැහැ, මීට වඩා බලය දෙන්න ඕන. හමුදාවට බලය දෙන්න ඉතිරි කරගත්ත කිසිම දෙයක් නැහැ මගේ අතේ. මම ඒ සියල්ල හදිසි නීති බලතලත් එක්ක දිලා තිබෙනවා.
හදිසි නීති ගැසට් කරලා බලතල දුන්නට පස්සේ යුද හමුදාපති මහේෂ් සේනානායක මහත්තයා කළ ප්‍රකාශයක් මම හින්නේ මතක ඇති එතුමා කිව්වා මේක මර්දනය කරන්න අපි ඉල්ලුවේ පුෂ් බයිසිකලයක්, අපිට හොද මෝටර් සයිකලයක් හමුබවුණා කියලා කිව්වා. ඒ මොකද ත්‍රස්තවාදින් මර්දනය කිරීමේ ගැසට් නිවේදනයත් සමඟ ඒ අයට නිදහසේ සාකච්ඡා කරලා මේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කරන්න ඒ දුන්න වගකීම් ඒ ආකාරයෙන් සිදුවන නිසා.
ඒ නිසා අපි දැන් බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරගෙන යනවා, ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය කරගෙන යනවා, පොලිසිය සම්පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරනවා. පොලිසියේ විශාල වශයෙන් විනාශයක් වෙලා තිබුණේ මම පොලිසිය භාර අරගෙන මාස 04යි. අප්‍රේල් 21 මේ සිදුවීම වෙන්න කළින් මේ රටේ ජනතාව තුළ මෙම පොලිසිය භාර ගැනීම පිළිබඳ පැහැදීමක් තිබුණා. මම ඒක කියන්න ඕන. මත්ද්‍රව්‍ය මර්දනය, ඒ වගේම පාසල් දරුවෝ සමග රටේ සියලුදෙනා දිවුරුම් දුන්නා බක්මහ දිවුරුම, අපි ඒ ගෙන ගිය ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම, ලෝක උරුමයක් බවට පත් කිරීමට යෝජනා කිරීම, මත්ද්‍රව්‍ය මර්දනයට පොලිසියේ අංශ ප්‍රතිසංවිධානය කිරීම, පොලිසියට කසිප්පු ටික අල්ල ගන්න පසුගිය අවුරුදු 03 බලයක් දීලා තිබුණේ නැහැ. ඒ නීති සංශෝධනය කරලා තිබුණේ නැහැ. මම පොලිසිය භාරගන්නකොට පොලිස් ස්ථාන 30කට එක වාහනයක්වත් නැහැ. එහෙම තමයි පොලිසිය වැඩ කරලා තිබුණේ. එතකොට ඒ සියල්ල ඔක්කොම අලුතෙන් හැදුවා. පොලිසියට අලුත් මුහුණුවරක් ලබාදීමේ ඒ කටයුතු කළා.
නමුත් මේ ලෝකයේ තිබෙන ප්‍රශ්නයක් මෙතන කඩා වැටිලා අර සියල්ල යට ගිහිල්ලා මේක මේ රටේ ප්‍රශ්නයක් විදියට සමහර අය කතා කරන්න පටන් අරගෙන තිබෙනවා තිබෙන අනවබෝධය නිසා. ඒ නිසා මම ප්‍රධාන වශයෙන්ම කියනව මේ රටේ ජනතාව බිය වෙන්න වුවමනාවක් නැහැ. ආරක්ෂක අංශ ඉතාම සාර්ථකව මේ කටයුතු ඉෂ්ට කරලා තිබෙනවා. අපි හොඳ ප්‍රතිඵල පෙන්නලා තිබෙනවා. අත්අඩංගුවට ගැනීම් සියයට අනු නවයක් කරලා තිබෙනවා. අදත්, හෙටත් වැඩිම වුණොත් තව දවස් 3ක් ඇතුළත සියයට සීයක් හැමදෙනාම අත්අඩංගුවට ගැනීමට අපේ බුද්ධි අංශ කටයුතු කරලා තිබෙනවා කියන එක මම පැහැදිළිව කියන්න ඕන. අද උදෙත් මම බුද්ධි අංශ ප්‍රධානින් සමඟ සාකච්ඡා කළා. මම දිනපතා උදේ සවස හමුදාපතිවරු, බුද්ධි අංශ අධ්‍යක්ෂවරු මේ හැම කෙනෙක් එක්කම සාකච්ඡා කරනවා,
ජාතික ආරක්ෂක මණ්ඩලය දවස් දෙකකට, තුනකට වරක් රැස් වෙන්නේ නමුත් මම උදේ සවස ඒ අයත් සමඟ සාකච්ඡා කරමින් මේ වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යනවා. මේ කිසිදු කටයුත්තක අඩු පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. නමුත් එක දෙයක් කියන්න ඕන ත්‍රස්තවාදය කියන එක ලෝකයේ කොයි වෙලේද, කොතන ද කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. ඒක ඩොනල්ට් ට්‍රම්ප්ටවත්, පුටින්ටවත් ඒ වගේම ඉන්දියාවේ මෝදි අගමැතිතුමාටවත් කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. ත්‍රස්තවාදයේ ස්වභාවය ඒකයි. එසේ කියන්න පුළුවන්නම් ලෝකයේ බලවත් රටවල්වලට ඔය ත්‍රස්තවාදි ප්‍රහාර එල්ල වෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ට ඒවා වළක්වා ගන්න පුළුවන්කම තිබුණා. ඒක තමයි ත්‍රස්තවාදය කියලා කියන්නේ. ඒ නිසා අපිට කළහැකි සියලු දේ අපි කරනවා. මේ පිළිබඳ උපරිම තත්ත්වයක් ඇති කරනවා, කිසිම තැනක අඩුපාඩුවක් නොවෙන්න, ඒ නිසා මෙහිදි අපට ඉතාමත් වැදගත් වන්නේ රටේ සමඟිය, ජාති සමඟිය, සියලු ජන කොටස්වල සමඟිය සංහිඳියාව අපි ශක්තිමත් කරගන්න ඕන.
මම සෑමවිටම ආගමික නායකයන්, පූජකතුමාලා ඒ සෑම කෙනෙක් එක්කම සාකච්ඡා කරන්නේ අපි හැම වෙලාවෙම එකට එක්වෙලා සමඟියෙන් වැඩ කරමු කියලා. මේ ගරු සභාව තුළත් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ ප්‍රශ්නයක දී එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නේ නැතිව මේ ප්‍රශ්නයේ බැරුරුම් තත්තවය තේරුම් ගන්න. විවේචනය අවශ්‍යයි. නමුත් ඒ විවේචනය සාධාරණ විය යුතුයි, ද්වේශ සහගත විවේචන ඒ වගේම තොරතුරු නොදැන කරන විවේචනය, අනවබෝධයෙන් කරන විවේචන ඒවා බොහෝ හිස් දේවල් බවට පත්වෙනවා. අපිට අවශ්‍ය පරිපූර්ණ දේ. ලෝකයේ ඕනෑම රටක මෙවැනි තත්ත්වයක් ඇති වූ විටදි හැම කෙනෙක්ම එකට එකතු වෙනවා.
මම විපක්ෂනායකතුමාට ස්තූතිවන්න වෙනවා, මෙතන නැතත් එතුමා හිටපු හමුදාපතිවරු එක්ක ඇවිල්ලා එතුමාලගේ යෝජනා මාලාවක් දුන්නා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මෙන්න මේවා සැලකිල්ලට ගන්න කියලා. ඒ නිසා ආණ්ඩු පක්ෂය ද, විපක්ෂය ද හැම කෙනාම, මම කණගාටුවෙන් වුවත් කියන්න ඕන සමහර අය හිතන් ඉන්නේ මේ සංවිධානයේ නායකයා මමයි කියලා ඒ තරමට මට තමයි ගහන්නේ. නමුත් මෙය තේරුම්ගන්න ඕන.
නොතේරුම්කමට තමයි මේ විදියට ඇගිල්ල දික් කරන්නේ. ඒ නිසා අපි සැම කෙනෙකුගේම වගකීමක් මේක. තමුන්නාන්සේලාට අපිට දේශපාලනය කරන්න, ආණ්ඩු කරන්න රටක් තියෙන්න ඕන. මේ වගේ පුළුල් ජාත්‍යන්තර ත්‍රස්තාවදී ව්‍යාපාරයක් ඇවිල්ලා රටක් විනාශ කරනකොට අපි කොහොමද ඒක රටින් එලියට දාන්නේ කියලා හැම කෙනෙක්ම අත්වැල් බැදගෙන සමගියෙන් මේ වගකීම් ඉටු කරන්න ඕන. මම ඉතාම ගෞරවයෙන් සියලුදෙනාගෙන්ථ, සියලු පක්ෂ නායකයන්ගෙන්, සියලු මැති ඇමතිවරුන්ගෙන්, මේ රටේ සියලු ආගමික නායකයන් ඒ සියලු දෙනාගෙන් නැවත, නැවත ඉල්ලා සිටින්නේ මෙවැනි අවස්ථාවක අපි හැම කෙනෙක්ම එකට එකතු වෙලා වැඩ කරමු. එකිනෙකාට ඇගිල්ල දික් කරන්නේ නැතිව, වැරදිකාරයෝ කියලා එකිනෙකාට දොස් පවරන්නේ නැතිව මේ තිබෙන තත්ත්වය තේරුම් අරගෙන මේ ප්‍රශ්නයට මුහුණ දීලා මේ රටේ ජීවත්වන ජනතාවට සාමකාමී නිදහස් සමාජයක් ගොඩනඟන්න කැපවෙමු කියලා.