එක්සත් රාජධානියේ ලීඩ්ස් (Leeds) නුවරදී 16 හැවිරිදි ක්ලෝයි වොට්සන් ඩ්‍රැන්ස්ෆීල්ඩ් (Chloe Watson Dransfield) නමැති දැරියක පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන තරුණයන් තිදෙනෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබේ.
පසුගිය සෙනසුරාදා උදෑසන ඔස්ට්‍රොප් (Austhorpe) ප්‍රදේශයේ කෙනර්ලී වීදියේ සිහිසුන්ව සහ බරපතල තුවාල සහිතව වැටී සිටියදී සොයාගත් මෙම දැරිය රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බටහිර යෝක්ෂයර් (West Yorkshire) පොලිසිය විසින් කෙනර්ලී මාවතේ පදිංචි 18 හැවිරිදි කයිලා ස්මිත්, මිඩ්ල්ටන් පාර්ක් පාරේ පදිංචි 19 හැවිරිදි ආචී රයික්‍රොෆ්ට් සහ නීතිමය හේතූන් මත නම හෙළි කළ නොහැකි 17 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මොවුන් තිදෙනාම ලීඩ්ස් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අමතරව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවා සිටින අතර, අත්අඩංගුවට ගෙන සිටි තවත් 18 හැවිරිදි තරුණයෙකු සහ 17 හැවිරිදි තරුණියක වැඩිදුර පරීක්ෂණ පවතින බැවින් ඇප මත මුදා හැර ඇත.
මියගිය ක්ලෝයිගේ පියා ඇතුළු පවුලේ ඥාතීන් ඇගේ අකල් මරණයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව ප්‍රකාශ කර තිබේ. පවුලේ ඥාතීන් විසින් ඇය වෙනුවෙන් ආරම්භ කරන ලද අන්තර්ජාල අරමුදල් රැස්කිරීමේ පිටුවකට (Fundraising page) කෙටි කාලයක් තුළ පවුම් 15,000කට ආසන්න මුදලක් ලැබී ඇති බව ද වාර්තා වේ.














