ඉන්ධන ජාවාරම් කිරීමේ චෝදනා මත පසුගිය දෙසැම්බර් මාසයේ සිට ඉරාන බලධාරීන්ගේ භාරයේ පසුවූ ඉන්දීය නාවිකයන් අට දෙනෙකු (08) සති ගණනාවක ප්‍රමදයකින් පසු සාර්ථකව සිය මව් රට බලා ළඟා වීමට සමත් විය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඔවුන්ගේ නිදහස් කිරීම් සහ ගමන් මාර්ග දැඩි ලෙස අවහිර වී තිබුණි.
ඩුබායි හි ‘ප්‍රයිම් ටෑන්කර්ස්’ (Prime Tankers LLC) සමාගමට අයත් ‘එම්.ටී. වැලියන්ට් රෝර්’ (MT Valiant Roar) නමැති නෞකාව පසුගිය දෙසැම්බර් 08 වනදා ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙහි කාර්ය මණ්ඩලය ඉන්දියානුවන් 16 දෙනෙකු, ශ්‍රී ලාංකිකයෙකු සහ බංග්ලාදේශ ජාතිකයෙකුගෙන් සමන්විත විය. ඉන්ධන ජාවාරම් කළ බවට එල්ල වූ චෝදනා අදාළ සමාගම විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.
ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීම මත කාර්ය මණ්ඩලයේ මුල් කණ්ඩායම පෙබරවාරි 10 වනදා නිදහස් වූ අතර, ඉතිරි පිරිසට ඉරානයේ සිට ආර්මේනියාව හරහා ඩුබායි ඔස්සේ ඉතා දුෂ්කර ගමනකින් පසු පසුගිය ඉරිදා සිය රටවලට යාමට අවස්ථාව උදාවිය. මෙහි සිටි ශ්‍රී ලාංකික සහ බංග්ලාදේශ ජාතික නාවිකයන් ද ආර්මේනියාවේ සිට සිය රටවල් බලා පිටත්ව ගොස් තිබේ. තමන් ගත කළ කාලය මරණය අතේ තබාගෙන සිටියාක් වැනි බිහිසුණු අත්දැකීමක් බව නිදහස් වූ නාවිකයෝ පවසති.














