සිංගප්පූරුවේදී සාර්ථක හෘද සැත්කමකට භාජනය වී දැනට ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර යළි මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. පැය 9කට ආසන්න කාලයක් පැවති මෙම තීරණාත්මක සැත්කමෙන් පසුව ඒ මහතා මේ වන විටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර සැලසුම් කර තිබුණේ අලුත් අවුරුද්දෙන් පසුව ඔහු මෙරටට පැමිණීමට වුවද, පවතින යහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා බලා වෛද්‍ය නිර්දේශ මත එම ගමන කල්තියා සිදු කිරීමට තීරණය කර තිබේ. ඉකුත් මාර්තු මස 15 වැනිදා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා එහිදී හඳුනාගත් හෘදයාබාධයක් හේතුවෙන් මෙම සැත්කමට භාජනය කෙරිණි.














