බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සර්වජන බලය පක්ෂයේ තරුණ පෙරමුණේ කැඳවුම්කරු රංජිත හපුආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය, නීතිඥ ප්‍රියංකර මහාගම්මුලගේ යන මහත්වරුන් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළහ. එහිදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම අවධාරණය කළේ බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රටේ විදුලි බල උත්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, එමගින් රුපියල් මිලියන 100ක පමණ අලාභයක් සිදුවන බවත්ය. අයි.එම්.එෆ් (IMF) ආයතනය පවා මෙම තත්ත්වය මත විදුලි බිල ඉහළ යා හැකි බවට අනතුරු අඟවා ඇති බවත්, මේ වන විටත් රට තුළ විදුලි කප්පාදුවක් සිදුවෙමින් පවතින බවත් එහිදී ප්‍රකාශ විය.
විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා දූෂිතයෙකු බවට චෝදනා කළ රංජිත හපුආරච්චි මහතා, දූෂිතයන්ට එරෙහිව කටයුතු කරන බව පවසා බලයට පත් වූ ජනාධිපතිවරයා ඔහු ආරක්ෂා කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය. ගල් අඟුරු පාඩුවෙන් අඩක් ආණ්ඩුව දරන බව ජනාධිපතිවරයා පැවසුවද, එය අවසානයේ මහජනතාවගේ මුදල් බවත් මෙම වංචාව මහ බැංකු වංචාව මෙන් දස ගුණයකට වඩා වැඩි බවත් හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආහොත් මාලිමාවේ පිරිස ඔහු ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේද යන්න රටම බලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කළ ප්‍රියංකර මහාගම්මුලගේ මහතා පවසා සිටියේ මෙය වමේ ආණ්ඩුවක් නොව සමාගම්වල පාර්ශ්වය ගන්නා ආණ්ඩුවක් බවයි. ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 96කට ලබා ගැනීමට හැකියාව තිබියදී ටෙන්ඩර් ප්‍රමාද කිරීම හරහා ඩොලර් 142කට ලබා ගැනීම නිසා විශාල පාඩුවක් සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඉන්දියානු සමාගමකට පැවරීමට උත්සාහ කිරීම සහ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් දරදඬු තීරණ ගනිමින් වෛද්‍ය වෘත්තිකයන් අපහසුතාවයට පත් කිරීම පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු අනාවරණය කළේය. ජනාධිපතිවරයා අනෙකුත් ආගමික උත්සවවලට සහභාගී වුවද සිංහල අලුත් අවුරුද්ද මඟහැරීම සම්බන්ධයෙන් ද ඔහු සිය විවේචනය එල්ල කළේය.














