ප්‍රකට ආධ්‍යාත්මික අන්තර්ගත නිර්මාණකරුවෙකු (Spiritual Content Creator) වන අභිනව් අරෝරාගේ පවුලේ සාමාජිකයන් ගමන් ගත් මෝටර් රථයට බටහිර දිල්ලි ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අඟහරුවාදා තිලක් නගර් වෙළෙඳපොළ ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, ප්‍රහාරකයන් විසින් මෝටර් රථයේ ජනේල වීදුරු බිඳ දමා පවුලේ අයට තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් අභිනව්ගේ පියා වන තරුන් රාජ් අරෝරා මහතා පවසා සිටියේ, තම මෝටර් රථය යතුරුපැදියක ස්පර්ශ වීමක් සම්බන්ධයෙන් ඇති වූ සුළු බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ප්‍රහාරය එල්ල වූ බවයි. යතුරුපැදිය අසල සිටි දරුවෙකුට තම රථයෙන් අනතුරක් වූ බවට අදාළ දරුවාගේ මව චෝදනා කරමින් කෑකෝ ගසා ඇති අතර, ඉන්පසු පුද්ගලයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෝටර් රථයට පහර දී තිබේ.
කෙසේ වෙතත්, පසුව පරීක්ෂා කරන ලද CCTV දර්ශන මගින් අනාවරණය වී ඇත්තේ මෝටර් රථය සහ දරුවා අතර මීටරයක පමණ සැලකිය යුතු පරතරයක් තිබූ බවත්, කිසිදු අනතුරක් සිදුව නොමැති බවත්ය. අසාධාරණ ලෙස පවුලේ අයට පහර දී බිය වැද්දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් පවතින බව දිල්ලි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














