රුපියල් දෙකෝටි අට ලක්ෂ හැත්තෑ දහසක් (රු. 20,870,000) පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ 24 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු අද (14) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඇති අතර, මැලේසියාවේ ක්වාලාලම්පූර් හරහා කටුනායක වෙත පැමිණ ඇත. ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියක පැති බිත්තිවල සූක්ෂ්ම ලෙස අලවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 87ක ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.














