පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති ඇමෙරිකා – ඉරාන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමට ප්‍රධානතම හේතුව න්‍යෂ්ටික කටයුතු අත්හිටුවිය යුතු කාලසීමාව පිළිබඳ දෙරට අතර පවතින දැඩි මතභේදය බව නවතම වාර්තා හෙළි කරයි. සති පහක් පුරා ඇදී යන මෙම යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා ඇමෙරිකාව විසින් ඉරානයේ සියලුම න්‍යෂ්ටික කටයුතු වසර 20ක කාලයකට අත්හිටුවන ලෙස (Suspension) යෝජනා කර ඇති නමුත්, ඉරානය එකඟ වී ඇත්තේ වසර 5ක කාලසීමාවකට පමණක් බව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත්පත වාර්තා කර තිබේ.
ඇමෙරිකාවේ මෙම යෝජනාව මඟින් ඉරානයේ න්‍යෂ්ටික බලගැන්වීමේ කටයුතු ස්ථිරවම තහනම් කිරීමක් අදහස් නොවන අතර, එමඟින් ඉරානයට සිය න්‍යෂ්ටික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අත්හැර නොමැති බව ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ. කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ තමන් තවදුරටත් සාකච්ඡා සඳහා සූදානම් වුවද, යුද්ධය ඇතුළු ඕනෑම විකල්පයකට මුහුණ දීමට සූදානම් බවයි. මෙම කාලසීමාව පිළිබඳ පවතින ගැටලුව හේතුවෙන් සටන් විරාමයකට එළඹීමේ අවස්ථාව තවදුරටත් ප්‍රේහේලිකාවක් වී ඇති අතර කලාපීය නොසන්සුන්තාවය තවදුරටත් ඉහළ මට්ටමක පවතී.














