ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන්ව ‘යේසුස් වහන්සේ’ ට සමාන භූමිකාවක නිරූපණය කෙරෙන කෘත්‍රිම බුද්ධියෙන් (AI) නිර්මාණය කරන ලද ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය ජාලය වන Truth Social වෙතින් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ. රෝගී පුද්ගලයෙකු සුවපත් කරන ආකාරය දැක්වෙන මෙම ඡායාරූපය පළ කිරීමත් සමඟ දේශපාලන ලෝකය තුළ මෙන්ම ක්‍රිස්තියානි ආගමික සංවිධාන අතර ද දැඩි ආන්දෝලනයක් සහ විවේචනයක් මතු විය.
ට්‍රම්ප්ගේ දැඩි ආධාරකරුවන් මෙන්ම ගතානුගතික ක්‍රිස්තියානි නායකයන් ද මෙම ඡායාරූපය “නුසුදුසු සහ අපහාසාත්මක” එකක් ලෙස හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කළහ. “දෙවියන් වහන්සේට සමච්චල් නොකළ යුතු” බව පවසමින් රයිලි ගේන්ස් (Riley Gaines) වැනි ප්‍රකට පුද්ගලයන් ද මෙයට සිය විරෝධය පළ කළහ.
ඉරාන ගැටුම සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් ලියෝ XIV පාප් වහන්සේ (Pope Leo XIV) විවේචනය කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම ඡායාරූපය පළ කිරීම ආගමික ප්‍රජාව තවදුරටත් කෝප ගැන්වීමට හේතු විය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමන් එම ඡායාරූපය දෙස ආගමික කෝණයකින් නොබැලූ බවයි. එයින් අදහස් කළේ “මිනිසුන්ව සුවපත් කරන වෛද්‍යවරයෙකු” මිස යේසුස් වහන්සේව නිරූපණය කිරීමක් නොවන බව ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත්, තම ඡන්ද පදනමට බලපෑමක් සිදුවිය හැකි බව වටහා ගැනීමත් සමඟ ඔහු වහාම එම සටහන ඉවත් කිරීමට කටයුතු කර ඇත.














