ඉන්දුනීසියානු භූමියට ඉහළින් පියාසර කිරීම සඳහා ඇමෙරිකානු හමුදාවට පූර්ණ අවසරය ලබා දීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශය එරට ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම හරහා දකුණු චීන මුහුදේ පවතින ගැටුම්වලට ජකර්තා පාලනය ද අනවශ්‍ය ලෙස මැදිහත් වීමේ අවදානමක් පවතින බව විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍ය ස්ජාෆ්රි ස්ජම්සොඩින් (Sjafrie Sjamsoeddin) සහ ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) අතර වොෂින්ටනයේදී පැවති හමුවට පෙර මෙම රහස්‍ය ලිපිය යොමු කර ඇත. අදාළ ගුවන් ගමන් අවසරය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද කරන ලෙස එමඟින් ඉල්ලා ඇති අතර, කලාපීය සබඳතාවලට ඉන් එල්ල විය හැකි බලපෑම පිළිබඳව ද අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, මෙම ආරක්ෂක සාකච්ඡාවලින් අනතුරුව පෙන්ටගනය නිකුත් කළ නිල ප්‍රකාශයේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම ගැන සඳහන් වුවද, ගුවන් ගමන් බලපත්‍ර ලබා දීම පිළිබඳව කිසිදු සඳහනක් කර නොමැත. ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා වන පරිදි ඇමෙරිකානු යෝජනාව සමාලෝචනය කරමින් සිටින බවයි.














