ඉතාලි අගමැතිනි ජෝජියා මෙලෝනි ඇතුළු ලෝක නායකයන් පිරිසක් ලියෝ පාප්වහන්සේගේ සහයට ඉදිරිපත් වෙද්දී, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ස්ථාවරය තවදුරටත් දැඩි කරමින් පාප්වහන්සේට එරෙහිව සෘජු වාචික ප්‍රහාරයක් එල්ල කර තිබේ. පවතින ගෝලීය තත්ත්වය සහ විශේෂයෙන්ම ඉරානය සමඟ පවතින ගැටුමේ බරපතලකම පාප්වහන්සේ වටහාගෙන නොමැති බවත්, ඒ නිසා යුද්ධය වැනි විෂයන් ගැන එතුමා කතා නොකර සිටිය යුතු බවත් පවසමින් ට්‍රම්ප් මෙම රාජ්‍යතාන්ත්‍රික ගැටුම අලුත් මානයකට රැගෙන ගොස් ඇත. ක්ෂේත්‍රයේ සැබවින්ම සිදුවන දේ පිළිබඳව කිසිදු වැටහීමක් නැතිව පාප්වහන්සේ සාමය ගැන දේශනා පවත්වන බවට චෝදනා කළ ට්‍රම්ප්, තමන් ගනු ලබන දැඩි තීරණ ඇමෙරිකාවේ සහ ලෝකයේ ආරක්ෂාව වෙනුවෙන් බවත් ඒවා විවේචනය කිරීමට පාප්වහන්සේට අයිතියක් නොමැති බවත් අවධාරණය කළේය.
මෙම අර්බුදය ආරම්භ වූයේ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතාවය සහ මැදපෙරදිග යුද ගිනි ඇවිලීම සම්බන්ධයෙන් පාප්වහන්සේ ට්‍රම්ප් පාලනය විවේචනය කිරීමත් සමඟය. ඉන් අනතුරුව ට්‍රම්ප් විසින් පාප්වහන්සේව “භයානක” සහ “බියගුලු” නායකයෙකු ලෙස හැඳින්වීම නිසා වතිකානය සහ වොෂින්ටනය අතර සබඳතා ඉතිහාසයේ නොවූ විරූ ලෙස පලුදු වී තිබේ. ට්‍රම්ප්ගේ මෙම නවතම ප්‍රතිචාරයත් සමඟ කතෝලික ලෝකය තුළ මෙන්ම ජාත්‍යන්තර දේශපාලන කරළියේ ද දැඩි කැළඹීමක් ඇති වී ඇති අතර, ආගමික නායකයන් ජාතික ආරක්ෂාව වැනි සංකීර්ණ විෂයන්වලට මැදිහත් නොවිය යුතු බව ට්‍රම්ප්ගේ ස්ථාවරය වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: BBC ඇසුරින්














