ගෝලීය තෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඉරාන තෙල් බැරල් මිලියන 140ක් ජාත්‍යන්තර වෙළඳපොළට මුදා හැරීමට අමෙරිකාව ලබා දී තිබූ දින 30ක සහන කාලය (Waiver) එළඹෙන ඉරිදායින් අවසන් වන බව වොෂින්ටන් ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇති අතර, ඒ අනුව ලබන සඳුදා සිට ඉරානයට එරෙහි සම්බාධක අතිශය දැඩි මුහුණුවරක් ගනු ඇත.
මෙම තීරණයත් සමඟ ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ඕනෑම පාර්ශවයකට අමෙරිකානු සම්බාධකවලට සෘජුවම මුහුණ දීමට සිදුවන බවට වොෂින්ටනය අනතුරු අඟවා තිබේ. පසුගිය මාසය පුරා ඉරානයට යම් මට්ටමක ආර්ථික නිදහසක් හිමි වුවද, හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය ආතතිය සහ රාජ්‍යතාන්ත්‍රික අර්බුද හමුවේ ඉරානයේ ප්‍රධාන ආදායම් මාර්ගය මුළුමනින්ම අවහිර කිරීම අමෙරිකාවේ අරමුණ වී ඇත.
මෙම තීරණය හේතුවෙන් ලබන සතියේ සිට ගෝලීය තෙල් මිල යළිත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම චීනය වැනි ඉරාන තෙල් මත යැපෙන රටවල් මෙම තීරණයට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි ලෝකයම විමසිල්ලෙන් පසුවේ. ඉරාන තෙල් අපනයනය ශුන්‍ය මට්ටමට (Zero exports) ගෙන ඒමේ අමෙරිකානු උපායමාර්ගය මැදපෙරදිග පවතින යුද ගිනි තවදුරටත් ඇවිලවීමට හේතු වනු ඇතැයි විදේශීය ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
තොරතුරු උපුටා ගැනීම:Reuters ඇසුරින්














