ඉරානයේ පිටුවහල් කරනු ලැබූ ඔටුන්න හිමි කුමරු වන රේසා පාලෙවි (Reza Pahlavi) ඉතාලි දේශපාලන සහ ව්‍යාපාරික නායකයන් හමුවීම සඳහා අද (අප්‍රේල් 14) රෝමය වෙත පැමිණියේය. වර්තමාන ඉරාන ගැටුම මධ්‍යයේ ඉරාන ජනතාවගේ විමුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම ඔහුගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ඉරාන ජනතාවගේ හඬ නිහඬ කිරීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, ලෝක සාමය සහ සමෘද්ධිය සඳහා ඇති එකම සැබෑ මාවත ඉරානය “ඉස්ලාමීය ජනරජයෙන්” (Islamic Republic) මුළුමනින්ම නිදහස් කර ගැනීම බවත් ඔහු අවධාරණය කළේය. වත්මන් පාලනය සමඟ කිසිදු සාකච්ඡාවකින් ඵලක් නොමැති බව පෙන්වා දුන් ඔහු, තමන්ට වැදගත් වන එකම සාකච්ඡාව වන්නේ පාලන තන්ත්‍රය විසින් ජනතාව වෙත බලය පවරා දිය යුතු ආකාරය පිළිබඳව පමණක් බව ද සඳහන් කළේය.
ඔහුගේ මෙම සංචාරය සිදුවන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික අවහිරතා මධ්‍යයේය. රේසා පාලෙවි කුමරු මෑතකදී යුරෝපා පාර්ලිමේන්තුවේ දේශනයක් සඳහා ද ඇරයුම් ලැබූ අතර, ඔහු විසින් යෝජිත “ඉරාන සෞභාග්‍ය ව්‍යාපෘතිය” (Iran Prosperity Project) හරහා පාලන තන්ත්‍රය බිඳ වැටීමෙන් පසු ඉදිරි දින 180 තුළ ඉරානය පාලනය කළ යුතු ආකාරය පිළිබඳ සැලසුම් සකස් කර තිබේ.
ඉතාලි අගමැතිනි ජෝජියා මෙලෝනි ද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට පක්ෂව අදහස් දක්වා ඇති පසුබිමක, රේසා පාලෙවි කුමරුගේ මෙම රෝම සංචාරය ඉතා තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස දේශපාලන විචාරකයෝ සලකති.
තොරතුරු උපුටා ගැනීම: Iran International, Euractiv සහ Reuters ඇසුරින්














