බංග්ලාදේශයේ සිට මැලේසියාව බලා යාත්‍රා කරමින් තිබූ රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ සරණාගතයින් රැගත් බෝට්ටුවක් අන්දමන් මුහුදේදී පෙරළීමෙන් ළමයින් ඇතුළු පුද්ගලයින් 250ක් පමණ අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතන වාර්තා කරයි. අධික සුළඟ, රළු මුහුද සහ ධාරිතාවට වඩා වැඩි පිරිසක් පැටවීම හේතුවෙන් මෙම යාත්‍රාව අනතුරට පත්ව ඇති බව සඳහන් වේ. අප්‍රේල් 9 වනදා බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකාය විසින් මෙහි සිටි පුද්ගලයින් නව දෙනෙකු බේරාගෙන ඇති අතර, ඉතිරි පිරිස පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැත.
මියන්මාරයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ බංග්ලාදේශයට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් එහි පවතින දුෂ්කර ජීවන තත්ත්වයන් හේතුවෙන් මැලේසියාව වැනි රටවල් බලා මෙලෙස අනතුරුදායක මුහුදු ගමන්වල යෙදීමට පෙළඹී සිටිති. මෙම අනතුරින් දිවි ගලවාගත් 40 හැවිරිදි රෆිකුල් ඉස්ලාම් පවසන්නේ තමා පැය 36ක් පමණ මුහුදේ පාවෙමින් සිටි බවත්, මැලේසියාවේ රැකියාවක් ලබාගැනීමේ අරමුණින් මෙම ගමනට එක්වූ බවත්ය. මියන්මාරයේ බෞද්ධ බහුතරය සහිත රජය විසින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මෙම සරණාගත අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ.














