ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක සහතික කිරීම් සම්බන්ධයෙන් අනුගමනය කරන ලිහිල් පිළිවෙතත්, යුක්රේන සහ ඉරාන යුද්ධ හේතුවෙන් ඇමෙරිකානු අවි සැපයුමට එල්ල වී ඇති පීඩනයත් හමුවේ පෝලන්තයේ සිට පිලිපීනය දක්වා වූ ඇමෙරිකානු මිත්‍ර රටවල් ජපානය දෙසට යොමු වෙමින් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය සිය අවි අපනයන නීති ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය මෙලෙස ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
අගමැතිනී සානේ ටකායිචිගේ (Sanae Takaichi) රජය විසින් ජපානයේ හමුදා කාර්මික පදනම ශක්තිමත් කිරීම සඳහා වන නව නීතිරීති මෙම මස අගදී නිල වශයෙන් සම්මත කිරීමට නියමිතය. දශක ගණනාවක් පුරා ජපානය අනුගමනය කළ සාමකාමී (Pacifist) ප්‍රතිපත්තිය මධ්‍යයේ වුවද, ටොෂිබා (Toshiba) සහ මිට්සුබිෂි ඉලෙක්ට්‍රික් (Mitsubishi Electric) වැනි ජපාන සමාගම් උසස් මිලිටරි නිෂ්පාදන නිපදවීමේ හැකියාව තවමත් රඳවාගෙන සිටියි. පෝලන්තය සහ පිලිපීනය වැනි රටවල් ජපානයේ උසස් තාක්ෂණයෙන් යුත් ආරක්ෂක උපකරණ ලබා ගැනීමට දැනටමත් උනන්දුව පළ කර ඇති අතර, ඇමෙරිකාව මත පමණක් යැපීම අවදානම් සහගත බවත්, යුද්ධ දෙකක් හේතුවෙන් ඇමෙරිකානු සැපයුම් ජාලය අඩාල වී ඇති බවත් මිත්‍ර රටවල් කනස්සල්ල පළ කරයි.
මේ වන විට ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට සහ නව සේවකයින් බඳවා ගැනීමට ජපාන ආරක්ෂක නිෂ්පාදන සමාගම් කටයුතු කරමින් සිටින අතර, ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමෙරිකානු ආරක්ෂක ප්‍රතිපත්තියේ ඇති විය හැකි වෙනස්කම්වලට පිළියමක් ලෙස, ආසියා-පැසිෆික් කලාපය තුළ ජපානය ප්‍රබල අවි සැපයුම්කරුවෙකු ලෙස නැගී සිටීමට මෙම තත්ත්වය මඟ පාදා තිබේ.












