ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවෙකු ලෙස සැලකෙන ව්‍යාපාරික අජිත් පෙරේරා (කුඹලා), බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. නොරොච්චෝල බලාගාරය සඳහා බාල ගල් අඟුරු ආනයනය කළ බවට එල්ල වන චෝදනා සහ ඊට අදාළව විගණකාධිපති වාර්තාව මගින් හෙළි කර ඇති කරුණු පදනම් කරගනිමින් ඔහු මෙම ඉල්ලීම සිදු කර ඇත.
මීට පෙර මෙම ගල් අඟුරු වංචාව ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට උත්සාහ කළ අජිත් පෙරේරාට සමාජ මාධ්‍ය හරහා දැඩි විරෝධයක් එල්ල විය. එහෙත් වංචාව සම්බන්ධයෙන් විධිමත් වාර්තා නිකුත් වීමත් සමඟ, අමාත්‍යවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටීම ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපයට සහ ජනතාව තැබූ විශ්වාසයට හානියක් බව ඔහු දැන් අවධාරණය කරයි. ඉකුත් සතියේදී මෙම ගල් අඟුරු අර්බුදය මුල් කරගනිමින් අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුවද, ආණ්ඩුව තුළින්ම මෙවැනි විරෝධතා මතු වීම විශේෂත්වයකි.












