සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට මුල්තැන දෙමින් ශ්‍රීපාද උඩ මළුවේ වාර්ෂික හිසතෙල් ගැල්වීමේ පින්කම අද (15) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රීපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ මෙම පින්කම, ශ්‍රීපාද භාරකාර පූජ්‍ය දොරපනේ සුමන ජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අද උදෑසන 6.55 ට යෙදුණු සුබ නැකතින් පළමුව මහා සංඝරත්නය විෂයෙහි හිසතෙල් ගෑම සිදු කළ අතර, අනතුරුව සිරිපා කරුණා කිරීමට පැමිණ සිටි වන්දනාකරුවන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ සේවක මණ්ඩලය වෙත සෙත් පිරිත් මධ්‍යයේ ආශිර්වාද එක් කරනු ලැබීය. සිරිපා වන්දනා සමය අවසානයට ආසන්න වෙමින් පවතින මොහොතක, සමන් දෙවියන්ගේ ආශිර්වාදය පතමින් මෙම අවුරුදු චාරිත්‍රය ඉටු කිරීම විශේෂත්වයකි.














