උත්සව සමය වෙනුවෙන් කොළඹ පදිංචි ජනතාව ගම්බිම් බලා යාම සහ බොහෝ ආයතන නිවාඩු ලබා දීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ජල ඉල්ලුම මේ වන විට සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. පවතින වියළි කාලගුණයත් සමඟ පසුගිය 02 වැනිදා සිට හෝමාගම සහ පාදුක්ක ඇතුළු ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වූ කාලසටහනකට අනුව ජලය කප්පාදු කිරීම, අප්‍රේල් 11 වැනිදා සිට උත්සව සමය වෙනුවෙන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.
පවතින ජල ධාරිතාව සහ කාලගුණික තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව, යළිත් කාලසටහනකට අනුව ජල කප්පාදුවක් සිදු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන 19 වැනිදායින් පසු දැනුම් දෙන බව එම මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙතෙක් එවැනි කප්පාදුවක් සිදු කිරීමට ස්ථිර තීරණයක් ගෙන නොමැති වුවද, පවතින සීමිත ජල ධාරිතාව අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.














