හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය නාවික ගමනාගමනය යළි ස්ථාපිත කරන ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) ඉරානයෙන් ඉල්ලීමක් කර තිබේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සමඟ පැවැති දුරකථන සංවාදයකදී චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, මෙම ජල මාර්ගයේ ආරක්ෂාව සහ නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් බලාපොරොත්තුව බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සතු ස්වෛරීභාවයට චීනය ගරු කරන බව ප්‍රකාශ කළ වැන්ග් යී මහතා, කලාපීය නොසන්සුන්තා සමනය කර සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අඛණ්ඩව සහාය වීමට චීනය සූදානම් බව ද සඳහන් කර ඇත. මෙම ජල මාර්ගය හරහා ලෝක බලශක්ති සැපයුමෙන් විශාල ප්‍රමාණයක් සිදුවන බැවින් එහි ස්ථායීතාව පවත්වා ගැනීම ගෝලීය ආර්ථිකයට අතිශය තීරණාත්මක වන බව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
















