ඉරාන යුද්ධය හේතුවෙන් මතුව ඇති ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ, සිය බලශක්ති සැපයුම් දාමයන් ශක්තිමත් කිරීමටත් ස්ථාවර වෙළඳ ප්‍රවාහයන් ප්‍රවර්ධනය කිරීමටත් ඕස්ට්‍රේලියාව සහ මැලේසියාව කැපවන බව අද (බ්‍රහස්පතින්දා) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ. මැලේසියාවේ පුත්‍රජයා හිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් අතර පැවැති නිල හමුවකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් විය.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය සහ එය ව්‍යාප්ත වීම පිළිබඳව දෙරටේම “දැඩි කනස්සල්ල” මෙහිදී ප්‍රකාශ වූ අතර, විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යාම සහ බලශක්ති සැපයුමට එල්ල වන බලපෑම කලාපීය ආර්ථිකයට දැඩි තර්ජනයක් බව නායකයෝ පෙන්වා දුන්හ. මෙම අභියෝග ජය ගැනීම සඳහා දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට අග්‍රාමාත්‍යවරුන් දෙපළ මෙහිදී එකඟතාවකට පැමිණියහ.














