2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව, වත්මන් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවට අනුව ඔහුගේ වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් කෝටි 46 ඉක්මවන බව අනාවරණය වී ඇත.
තෑගි ඔප්පු සහ උරුමය මගින් හිමිවූ රුපියල් මිලියන 56ක් වටිනා වර්ග අඩි 4,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක් ද, රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුත් වර්ග අඩි 2,500ක ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක් ද ඇතුළුව තවත් ඉඩම් සහ ගොඩනැගිලි කිහිපයක් ඔහු සතුය.
රුපියල් ලක්ෂ 16ක් වටිනා පවුම් 8ක රන් ආභරණ, රුපියල් මිලියන 3ක රන් පවුමක් සහ රුපියල් ලක්ෂ 45ක වටිනාකමකින් යුත් මෝටර් රථයක් ඔහු සතු බව ප්‍රකාශ කර ඇත. මීට අමතරව, පෞද්ගලික ආයතන 10කට අදාළව රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂයකට (රු. 383,906,705.40) අධික වටිනාකමකින් යුත් සුරැකුම්පත් ද ඔහු සතුය.
අමාත්‍යවරයාගේ වාර්ෂික ආදායම් මාර්ග ලෙස වැටුප් (රු. 738,918.16), විශ්‍රාම වැටුප් (රු. 771,400.00), දේපළ බදු දීමෙන් ලැබෙන ආදායම් (රු. ලක්ෂ 4) සහ ස්ථාවර තැන්පතු පොලී ආදායම් (රු. 2,755,851.97) දක්වා ඇත. ඔහු සිය වත්මන් රැකියාවෙන් වසරකට රුපියල් දහඅට ලක්ෂයක ආදායමක් ලබන බව ද එහි සඳහන් වේ.
පසුගියදා වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් පිළිබඳව ද මෙවැනිම අනාවරණයන් සිදු වූ අතර, ලාල්කාන්ත අමාත්‍යවරයාගේ මෙම වත්කම් ප්‍රකාශය ද මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.














