සඳ මත ක්‍රියාත්මක වන අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සඳහා සූර්ය බලශක්තිය මත පමණක් රඳා නොසිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ස්ථාපනය කිරීමට නාසා (NASA) ආයතනය සැලසුම් කර ඇති බව අද (16) වාර්තා විය. “Fission Surface Power Project” ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය හරහා 2030 වසර වන විට සඳ මතුපිට න්‍යෂ්ටික බලශක්තිය නිපදවීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.
සඳ මත පවතින දීර්ඝ රාත්‍රී කාලය තුළ සූර්යාලෝකය නොමැති වීම නිසා බලශක්ති සැපයුම අඩාල වීම සහ ගවේෂණ සීමා සහිත වීම මෙමඟින් වළක්වා ගත හැකිය. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා නාසා ආයතනය අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කිරීමට නියමිත අතර 2028 වසර වන විට මධ්‍යම ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් අභ්‍යවකාශගත කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.
ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලය (OSTP) විසින් අභ්‍යවකාශ න්‍යෂ්ටික තාක්ෂණය දියුණු කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ දැනටමත් ෆෙඩරල් ආයතන වෙත නිකුත් කර තිබේ. දශක පහකට වැඩි කාලයකට පසු සඳ වෙත ගගනගාමීන් රැගෙන යන ආටෙමිස් II (Artemis II) මෙහෙයුම ක්‍රියාත්මක වන පසුබිමක මෙම න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතිය සඳ මත ස්ථිර මානව ජනාවාස පිහිටුවීමේ ඉදිරි පියවරක් ලෙස සැලකේ.














