තායිවානය සඳහා අනුමත වීමට නියමිතව ඇති නවීන අවි ආයුධ පැකේජය ඉදිරි සති කිහිපය තුළ ලබා දීමට කටයුතු කරන බවට අමෙරිකානු සෙනෙට් සභිකයන් පිරිසක් තායිවාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් සහතික වී තිබේ. චීනයෙන් එල්ල වන දැඩි බලපෑම් හමුවේ සිය ආරක්ෂක වියදම් කඩිනම් කරන ලෙස ද ඔවුහු තායිවානයෙන් ඉල්ලා සිටිති.
ඉදිරි සති කිහිපය තුළ නිවේදනය කිරීමට නියමිත මෙම නව අවි ආයුධ පැකේජයට ඩ්‍රෝන ප්‍රහාර මර්දනය කිරීමේ පද්ධති (Counter-drone assets), ඒකාබද්ධ සටන් විධාන පද්ධතියක් (Integrated battle command system) සහ තායිවානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මධ්‍යම දුර මිසයිල ඇතුළත් වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැයි 14-15 දිනවල චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර එම සංචාරය හරහා චීනය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත වෙළඳ ගිවිසුම් නිසා තායිවානයට ලබා දෙන හමුදා සහය අඩුවනු ඇතැයි පවතින සැකය මඟහරවා ගැනීමට මෙම ලිපිය මඟින් උත්සාහ කර ඇත. ජේන් ෂහීන්, ජැකී රොසෙන්, තොම් ටිලිස් සහ ජෝන් කර්ටිස් යන සෙනෙට් සභිකයන් මෙම ලිපියට අත්සන් තබා ඇති අතර තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය කැපවී සිටින බව ඔවුහු අවධාරණය කරති.














